එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ
කෲස්පුල්ලේ ස්ථානය තහවුරු කරයි
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)
එංගලන්ත ලයන්ස් පිල හමුවේ පිට පිටම දෙවැනි ශතකයක් ලබාගත් ලසිත් කෲස්පුල්ලේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් තමන්ගේ ස්ථානය තහවුරු කරගත්තේය. ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (07 වැනිදා) ආරම්භ වූ දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී ලසිත් කෲස්පුල්ලේ විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් නොදැවී ලකුණු 122 ක් ලබාගත්තේය.
අද පස්වරු 2.45 ට පමණ මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියේය.
තරගය යළි ආරම්භ කිරීම සඳහා විනිසුරුවරුන් පස්වරු 4.00 පමණ වන තෙක් බලා සිටි නමුත් වර්ෂාවෙන් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව අවට තෙතබරිත වී තිබිණ. පස්වරු 4.00 ට පළමු දිනයේ ක්‍රීඩාව අතහැර දමන ලදි.
තරගය හෙට (8 වැනිදා) පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් පිටියට පිවිසි මොහොතේ සිටම ලයන්ස් පන්දු යවන්නන්ට කිසිම බුරුළක් නොදුන් කෲස්පුල්ලේ දුර්වල පන්දුව දුටු තැන පහර දෙමින් පන්දු 41 කදී සිය අර්ධ ශතකය ලබාගත්තේය.
පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් නිශාන් මධුෂ්ක අද දිනයේ ලකුණු 22 කට දැවී ගිය නමුත්, කිසි ලෙසකින් තමන්ගේ තාලය වෙනස් නොකළ කෲස්පුල්ලේ, ලයන්ස් පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳ දමමින් ලකුණු ලබාගැනීම නිසා 21 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු 100 වාර්තා විය.
ඉවක් බවක් නැතිව පන්දුවට පහර දෙන හිතුවක්කාර පිතිකරුවකු ලෙසින් නොව, ආරම්භක පිතිකරුවකුට ඔබින තාක්‍ෂණය මෙන්ම ඉවසීමත්, දුර්වල පන්දුව දුටු තැන නොබියව එය හතරේ සීමාවට යැවීමත් යන සියල්ලෙන් සම්පූර්ණ පිතිහරඹයක නිරතව සිටින කෲස්පුල්ලේ කණ්ඩායමේ 100 වැනි ලකුණු පුවරුවට එකතු කළේ සෑම් කුක් පිට පිටම යැවූ පන්දු 4 කින් තුනක් හතරේ සීමාවට යවමිනි. එම ලකුණු 100 න් ලකුණු 68 ක හිමිකරුවා කෲස්පුල්ලේ විය.
නිශාන් මධුෂ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු සමගින් එක්ව පළමු සහ දෙවැනි කඩුලු වෙනුවෙන් පිළිවෙලින් ලකුණු 59 ක සහ 83 ක සම්බන්ධතා පැවැත්වූ කෲස්පුල්ලේ සිය ශතකය වාර්තා කළේ ජොෂ් ටංගේ පන්දුවක් මිඩ් විකට් කලාපය හරහා හතරේ සීමාව වෙත යවමිනි. එම පහරේ අලංකාරය මෙන්ම පන්දුව හතරේ සීමාවට යැවීමට තරම් වූ ජවයත් නොඅඩුවම කැටිවී තිබිණ.
ලයන්ස් පන්දු යවන්නෝ අද දිනයේ පමණක් පහසු උඩපන්දු දෙකක් බිම දැමූහ. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 05 ක් ලබා සිටියදී පන්දු යැවූ ලියාම් පැටර්සන්ට දුන් පහසු උඩපන්දුවක් ඔහුගෙන් ගිළිහී ගිය අතර නිපුන් ධනංජය ලකුණු ලබාගැනීමට පෙර දුන් උඩපන්දුවක් පළමු ස්ලිප් හි සිටි ඇලෙක්ස් ලීස් වෙතින් ද ගිළිහී ගියේය. නුවනිඳු ලකුණු 22 ක් ලබා දැවී ගිය නමුත් නිපුන් ධනංජය තවමත් පිටියේ සිටී.
කෲස්පුල්ලේ මෙන්ම නිපුන් ධනංජය දෙදෙනා පන්දුවට පහර දෙන්නේ පාසල් තරගයකදී මෙනි. ලයන්ස් පන්දු යවනන්නන්ගෙන් කිසිම ආකාරයේ තර්ජනයක් ඔවුන් දෙදෙනාටම නැති සෙයකි.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම තරගයේදී වෙනස්කම් 6 ක් සහිතව පිටියට පිවිසියේය. විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ ප්‍රවීන් ජයවික්‍රම තිදෙනා මෙම තරගයට කැඳවා ඇත්තේ නවසීලන්ත සංචාරයට පෙර ඔවුන්ගේ තත්ත්වය පිරික්සා බැලීම සඳහාය. \
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම
නිශාන් මධුෂ්ක - ඇ.ඇබෙල් ප.ටං 22
ලසිත් කෲස්පුල්ලේ - නොදැවී 122
නුවනිඳු ප්‍රනාන්දු - ක.මු.කළා ප.කුක් 22
කමිඳු මෙන්ඩිස් - ඇ.ටං ප.ෆිෂර් 6
නිපුන් ධනංජය - නොදැවී 14
අතිරේක 4
එකතුව - ඕවර 44.3 කදී කඩුලු 3 ක් දැවී 190
කඩුලු වැටීම :
1-59(නිශාන්), 2-142(නුවනිඳු), 3-149(මෙන්ඩිස්)
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ :
ළහිරු උදාර, චාමික කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂිත මානසිංහ, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම
පන්දු යැවීම :
සෑම් කුක් 15-5-40-1
මැතිව් ෆිෂර් 12-1-61-1
ජොෂ් ටං 10.3-1-45-1
ලියාම් පැටර්සන් 5-0-29-0
ටොම් ඇබෙල් 2-0-11-0