Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ - මහනුවර ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතක

කොළඹ - මහනුවර ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතක

දමින්ද විජේසූරිය - 2020 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ආරම්භය කොළඹ සහ මහනුවර අතරය. ඊළඟ පියවර ගාල්ල සහ යාපනය අතරය. දඹුල්ලත් සටනට පිවිසීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කරමින්, එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (26 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

සමාරම්භක උත්සවය පස්වරු 3.30 ට පැවැත්වෙන අතර කොළඹ කිංග්ස් සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම් අතර පළමු තරගය රාත්‍රී 7.30 ට විදුලි ආලෝකය යට පැවැත්වේ.  කොළඹ කිංග්ස් සහ මහනුවර ටස්කර්ස් යන කණ්ඩායම් දෙකම සීමිත ඕවර ක්‍රීඩාවේදී සුවිශේෂී දස්කම් දැක්වූ අති දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත බැවින් පළමු තරගයම තියුණු මුහුණුවරක් ගනු නිසැකය.

අවසන් මොහොතේදී දිවයිනට පැමිණීම හේතුවෙන් තවමත් නිරෝධායනය වෙමින් සිටින මහනුවර පිලේ බ්‍රෙන්ඩන් ටේලර් සහ ඩේල් ස්ටේන් දෙදෙනාත්, ගාල්ල පිලේ සහීඩ් අෆ්රීඩි මෙන්ම යාපනය පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකුටම තරගාවලිය ආරම්භයේදී තරග කිහිපයක් අහිමි විය හැකිය. එබැවින් මුල් තරග කිහිපයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වැඩි දෙනකු ක්‍රීඩා කිරීම සාමාන්‍ය දෙයක් විය හැකිය. එහෙත් සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන තරගාවලිය දිගහැරෙත්ම එහි වැඩි තරගකාරීත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන.

එහෙත් කොළඹ පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කොදෙව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් ඊයේ පුහුණුවීම් ආරම්භ කළ අතර කොළඹ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ අද තරගය සඳහා ඔහු ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් මොහොතේදී තීරණයක් ගන්නා බවයි.

කෙසේ වුවත් කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ පිලේ රවීන්ද්‍රපාල් සිංට මෙන්ම මහනුවර පිලේ සොහේල් තන්වීර්ටද තරග කිහිපයක්ම අහිමි වීම වැළැක්විය නොහැකිය. සුවය ලබන ක්‍රීඩකයකු නැවත වරක් ක්‍රියාකාරී තලයට පිවිසීමේදී අනුගමනය කළ යුතු ප්‍ර වේශය සම්බන්ධයෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“සුවය ලැබූ විගසම පුද්ගලයෙකුට විස්සයි-20 තරඟයක් වැනි දැඩි ආතතිය සහිත තරගයට යන්න කියලා වෛද්‍ය විද්‍යාත්මකව කියන්න බෑ. එය සුදුසු දෙයක් යයි මා හිතන්නේ නෑ..... නමුත් වෛද්‍ය උපදෙස් වලට එරෙහිව ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවශ්‍ය නම් එය කළ හැකියි. එ් තීරණය ක්‍රීඩකයා සතුයි....”

“කොහොම වුණත් දින 14 ක නිරෝධායනයකට පස්සේ, එක එල්ලේම සෙල්ලම් කරන්න වෛද්‍ය අවසරය දෙන්න බෑ.. මොකද  සාක්ෂි වලින් පෙන්නලා තියෙනවා එවන් අය තවත් සති දෙකක් විවේක ගත යුතුයි කියලා....” යයිද මහාචාර්යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව නිරෝධායන කාලය දින 14 කි. එහෙත් ඩුබායිහිදී පැවැති අයි.පී.එල්. තරගාවලියත්, එංගලන්ත පිලේ දකුණු අප්‍රිකානු සංචාරය මෙන්ම පාකිස්තානු පිලේ නවසීලන්ත සංචාරයත් අතරට මැදිවූ එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් විශේෂයක් කිරීමට සෞඛ්‍ය බලධාරීහු එකඟ වූහ.

ක්‍රීඩා අමාත්‍යවරයාත්, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම ලේකම්වරුන්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව කළ සාකච්ඡාවලින් අනතුරුව
රටේ ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා මෙම නිරෝධායන කාලය අඩු කළ යුතු යයි ඔව්හු එකඟ වූහ. එබැවින් එය දින 7 ක් දක්වා අඩු කරන ලදි. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දින 10 කට පසුව ක්‍රීඩා කළ හැකි තත්ත්වයට එය සකස් කරන ලදි.

එල්.පී.එල්. 2020 යථාර්ථයක් වූයේ එපරිද්දෙනි. නීති රාමුවට හිරවී සිටියේ නම් මෙවර තරගාවලියත් හුදු කතාබහක්ම වන්නට තිබිණ.

ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ ආකෘතියට අනුව ශ්‍රී ලංකාවේදීත් එවන් තරගාවලියක් පැවැත්වීමේ බලවත් උත්සාහයක් වසර ගණනාවක් පුරා තිබුණ නමුත් විවිධ හේතූන් නිසා කිහිප වරක්ම එය අසාර්ථක විය. වසර කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේදී පැවැත්වූ එවන් තරගාවලියක ශේෂය වූයේ අපකීර්තිය පමණි.

එහෙත් අදින් ඇරඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලිය කෙරේ වැඩි දෙනා සුබවාදී බලාපොරොත්තු තබා ඇත්තේ, මාස 10 කට ආසන්න කායලක් පුරා කොරෝනාවෙන් සෝදා පාළුවට ලක්වීමෙන් පසුව හෙළ කෙළිබිමේ පැලකෙරෙන පළමු පැළෑටිය එය බැවිනි. ලෝකයේ රටවල් කිහිපයක සිටින ධන කුවේරයෝ කිහිප දෙනෙක් ඒ වෙනුවෙන් දිය - පොහොර යොදන්නට සූදානම්ව සිටිති.

මුදල් ආයෝජනය කරන්නන්ට එය හුදෙක් ව්‍යාපාරයක් පමණක් විය හැකිය. එහෙත් සුබවාදී දෘෂ්ටිකෝණයෙන් බලන්නේ නම් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ  ජාතික හා නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගතය සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කරයි.

“ලෝකය පුරාම සිටින විශිෂ්ටම වි-20 ක්‍රීඩකයන් සමග එකම කණ්ඩායමක රැඳෙමින්, ඔවුනොවුන්ට එරෙහිව තරග කරමින් විස්සයි-20 ක්‍රීඩකයින්ගේ ගොමුවක් නිර්මාණය කිරීම සඳහා මෙය ඉතා වටිනා ආයෝජනයක් වේවි” යයි  කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හි පැවති සමාරම්භක මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය‍.

“මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඓතිහාසික අවස්ථාවක්. අපි පසුගිය වසර තුනක පමණ කාලයක් තිස්සේ මෙම වැදගත් තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කරමින් සිටියා. නමුත් අවාසනාවකට විවිධ හේතු නිසා මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව අපට අහිමි වුණා ”

“අගෝස්තු මාසයේදී මෙම තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, කොරෝනා වසංගතයේ දෙවන රැල්ල මතුවීමත් සමඟ තරගාවලියේ අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයන් බොහෝමයක් මතුවුණා. ඒත් අවසානයේදී අපට දින තීරණය කරලා එය යථාර්ථයක් කිරීමට හැකිවුණා” යයි මොහාන් ද සිල්වා මහතා පැවසීය.  තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා මෙන්ම තරගාවලියේ අධ්‍යක්ෂවරයාද වන රවින් වික්‍රමරත්න මහතාගේ උත්සාහයද
ක්‍රිකට් ලේකම්වරයාගේ විශේෂ ප්‍රශංසාවට පාත්‍ර විය.

මෙම අවස්ථාවට එක්වෙමින් එල්පීඑල් හි නිල අයිතිය දරන්නන්ගේ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවිය යුතු සියලුම මූලික ගෙවීම් කර ඇති බවයි.

“සියල්ල නිසි ආකාරයට සිදුවෙනවා. ක්‍රීඩා ඇමති, උප සභාපති සහ තරග අධ්‍යක්ෂ ඇතුළු සියලු දෙනාගේ හොඳ සහයෝගයක් මට ලැබී තියෙනවා. ගෙවීම් පිළිබඳ කිසිදු ගැටළුවක් නෑ.... මූලික ගෙවීම් සියල්ලම කරලා තියෙනවා.....”

“මේ පළමු තරගාවලියයි... ආරම්භයයි.... ”
“ලබන වසරේ මෙම තරගාවලිය විශාල හා වඩා හොඳ එකක් වේවි..”. යයිද අනිල් මොහාන් මහතා පැවසීය.

තරගාවලියේදී ඇති කරගත් එකඟතා අනුව ක්‍රීඩකයින්ට ඔවුන්ගේ මුදලින් 60% ක් ආරම්භයේදී ගෙවිය යුතුය. පළමු ගෙවීම සියලුම ක්‍රීඩකයින්ට ගෙවා ඇති බව තරගාවලි අධ්‍යක්ෂ වික්‍රමරත්න මහතා පැවසීය.

 


අදහස් (1)

කොළඹ - මහනුවර ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතක
  • N . A නදිශක මිල්ෂාන් Thursday, 03 November 2022 09:53 PM

    මටත් ක්‍රිකට් ටීම් එකට බැඳෙන්න ආසයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.