Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිස් ගේල් - ඔන්ඩ්‍ර් රසල් එන බව කියති

ක්‍රිස් ගේල් - ඔන්ඩ්‍ර් රසල් එන බව කියති

යොහාන් භාසුර - 2020 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ සුපිරි පිතිකරුවා වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම ස්ථිර කර ඇති බව මහනුවර ටස්කර්ස් පිලේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. කොළඹ කිංග්ස් පිලට ඇතුළත්ව සිටි ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ තවත් ප්‍රබල චරිතයක් වන බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩි්‍ර රසල් ද තරගාවලියට සහභාගි වන බව මේ වන විට ස්ථිර කර ඇති බවත් වාර්තා වේ.

කොන්ත්‍රාත්තුව සම්බන්ධ ප්‍රශ්නයක් සහ ශ්‍රී ලංකාවේ ‘නිරෝධායන’ දින සංඛ්‍යාව වැඩි වීම යන හේතූන් නිසා ක්‍රිස් ගේල් තරගාවලියට සහභාගි නොවන බව ද ඔන්ඩි්‍ර රසල් අයි.පී.එල්. තරගාවලියේ ආබාධයකට ලක්වීම නිසා සහභාගි නොවන බව ද මීට පෙර වාර්තා විය.

“ක්‍රිස් ගේල් තරගාවලියට සහභාගි වීම ස්ථිර කළා තියෙන්නේ. මේ මොහොත වෙන තෙක් ඔහුගේ තීරණය වෙනස් කළ බවක් අපිට දැනුම්දීලා නෑ”

“වහබ් රියාස් මේ වන විටත් ඔහුගේ ඇඳුම් කට්ටලය සූදානම් කිරීමට අවශ්‍ය විස්තර පවා යොමු කර තිබෙනවා. අපේ කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයන් හය දෙනා දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ” යැයි මහනුවර ටස්කර්ස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මහනුවර ටස්කර්ස් පිලට ක්‍රිස් ගේල්, එංගලන්ත ක්‍රීඩක ලයාම් ප්ලන්කට්, පාකිස්තානු ක්‍රීඩක වහබ් රියාස් සහ අෆ්ගනිස්තාන් ක්‍රීඩක නවීඞ් උල් හක් යන ක්‍රීඩකයන් සිවුදෙනා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ඇතුළත් වූහ. පසුව විදේශීය ක්‍රීඩකයන් ලෙස ඉන්දීය පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් සහ ඇෆ්ගනිස්තානු ක්‍රීඩක රහමනුල්ලා ගුරුබාෂ් යන දෙදෙනාත් ඇතුළත් වූහ.

කඩුලු රකින්නෙකු වන 18 හැවිරිදි ප්‍රවේගකාරී පිතිකරු රහමනුල්ලා ගුරුබාෂ්, ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් විස්සයි-20 ජාත්‍යන්තර තරග 10 කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 332 ක් රැස්කිරීමට සමත්ව සිටියි. ඔහුගේ විස්සයි-20 ජාත්‍යන්තර තරගවල ප්‍රහාරාත්මක වේගය 140.67 කි.

කොළඹ කිංග්ස් පිලේ ප්‍රකාශයකු පැවසුවේ ඔන්ඩි්‍ර රසල් සහභාගිත්වය ස්ථිර කර ඇති බවත් ඔහුගේ සහභාගිත්වය තම කණ්ඩායම වඩාත් ශක්තිමත් කරන බවත්ය.

එල්.පී.එල්. තරගාවලියේ ප්‍රධාන නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සෙසු කණ්ඩායම් ද විදේශ ක්‍රීඩකයන් ඇතුළත් කරමින් සිටින බවයි.

“ක්‍රීඩකයන් තෝරාගැනීම කරන්නේ එම කණ්ඩායම්වල සම්පත්දායකයින්. අපි නිෂ්චිත දිනයක් දීලා නෑ. නමුත් විදේශීය ක්‍රීඩකයන් ‘නිරෝධානය’ විය යුතු නිසා හැකි ඉක්මකින් එය කළ යුතුයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කොළඹ කිංග්ස් පිලෙන් ඉවත් වූ ෆෆ් ඩූ ප්ලීසිස් සහ මන්වින්ද්‍රන් බිස්ලා වෙනුවට පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක මොහොඞ් හෆීස් සහ ඇෆ්ගනිස්තානු ක්‍රීඩක කුයිස් අහමඞ් ඇතුළත් කර තිබේ. දඹුල්ල හෝක්ස් පිලෙන් සුපිරි පිතිකරු ඬේවිඞ් මිලර් ඉවත්වීමේ අඩුවට කොදෙව් පිතිකරුවකු වන ජොන්සන් චාල්ස් ඇතුළත්ව සිටියි.

යාපනය ස්ටැලියන්ස් පිලට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන් වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ දඟ පන්දු යවන විජයකාන්ත් වියෂ්ඛාන්, කනගරත්නම් කබිල්රාජ් සහ තෙවේන්ද්‍රන් දිනෝෂාන් ඇතුළත් කර සිටිති.

ලසිත් මාලිංග විශේෂ ක්‍රීඩකයා ලෙස නම් කර ඇති ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට ලෝක ක්‍රිකට් පිටියේ හිටපු සුපිරි පිතිකරුවකු වන සහිඞ් අෆ්රිඩි, කොලින් ඉන්ග්‍රම්, හෂ්රතුල්ලා ශෂායි, මොහොමඞ් අමීර්, සෆ්රාස් අහ්මඞ් සහ අසාම් ඛාන් යන හයදෙනා ඇතුළත්ව සිටිති.

තරගාවලිය මේ මස 28 වැනිදා ආරම්භ වන අතර තරගාවලියේ සියලු තරග සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (0)

ක්‍රිස් ගේල් - ඔන්ඩ්‍ර් රසල් එන බව කියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.