Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කලම්බෝ ලයන්ස් පිල තෙවැනි පරාජයත් ලබයි

කලම්බෝ ලයන්ස් පිල තෙවැනි පරාජයත් ලබයි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ (16 වැනිදා) පැවැති තරගයකදී කලම්බෝ ලයන්ස් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක ජයක් ලැබීමට කේරල කිංග්ස් කණ්ඩායම සමත් විය. 

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා කේරල කිංග්ස් ඉනිම ඕවර 8 කට සීමා වූ අතර එහිදී තරගය ජයගැනීම සඳහා ඔවුන්ට ලකුණු 91 ක ඉලක්කයක් හිමිවිය. පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගිය කේරල කිංග්ස් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදි ලකුණු 51 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ චැඞ්වික් වෝල්ටන් (නොදැවී 47) සහ කිරන් පොලාඞ් (නොදැවී 40) කේරල කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 21 කදී වාර්තා වූ වෝල්ටන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 12 කදී වාර්තා වූ පොලාඞ්ගේ ඉනිමට හයේ පහර 6 ක් ඇතුළත් විය. 

කේරල කිංග්ස් ඉනිමේ බිඳවැටුණ කඩුලු 2 ඇන්ජලෝ පෙරේරා සහ කසුන් මධුෂංක අතරේ බෙදී ගියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ ලයන්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 112 ක් රැස්කළේය. එහිදී කලම්බෝ ලයන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිනේෂ් චන්දිමාල් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කළේය. 

භානුක රාජපක්ෂ (26) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්දිමාල් සමත් විය. පන්දු 16 කට මුහුණදුන් භානුක, සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් අලංකාර කළේය. 

කලම්බෝ ලයන්ස් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රමිත රඹුක්වැල්ල පන්දු 6 කදී නොදැවී ලකුණු 20 ක් රැස්කළේ හයේ පහර 3 ක්ද සමගිනි. 

කලම්බෝ ලයන්ස් පිල - ඕවර 10 කදි කඩුලු 3 කට 112 
(දිනේෂ් චන්දිමාල් නොදැවී 38, ඩිල්ෂාන් මුණවීර 15, භානුක රාජපක්ෂ 26, රමිත රඹුක්වැල්ල නොදැවී 20) 

කේරල කිංග්ස් පිල - ඕවර 6.1 කදි කඩුලු 2 කට 92  
(චැඞ්වික් වෝල්ටන් නොදැවී 47, කිරන් පොලාඞ් නොදැවී 40) 

-036 


අදහස් (0)

කලම්බෝ ලයන්ස් පිල තෙවැනි පරාජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.