Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කදිම තරගයකට වැස්ස හරස්වෙයි
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

කදිම තරගයකට වැස්ස හරස්වෙයි

editorial - 2023 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බවත්, ධෛර්ය සම්පන්න වේනම් වාසිය තමන්වෙත ළඟාකරගත හැකි බවත් කදිමට පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් එංගලන්තයේ ලයන්ස් කණ්ඩායමත් අතර ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. අවසන් දිනය වූ අද (03 වැනිදා) ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් තිබුණ නමුත්, අවසන් හෝරාවේදී වර්ෂාව හරස්වීම නිසා තරගය නතර කිරීමට සිදුවිය.

තරගයේ දෙවැනි දිනයේ පස්වරුවේදීම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 331 ක පීඩනයට ලක්ව සිටියේය. එහෙත් අවාසිය මෙන් දෙගුණයක ලකුණු සංඛ්‍යාවක් දෙවැනි ඉනිමේදී ලබාගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, තරගය ජයගැනීමට නම් ලකුණු 333 ක් ලබාගන්නා ලෙස එංගලන්ත ලයන්ස් පිලට අභියෝග කළහ.
ඒ වෙනුවෙන් ලයන්ස් පිලට ඕවර 68 ක් තිබිණ.

ලයන්ස් පිලේ මෑත කාලීන තරග රටාව හෙවත් “බස්බෝල් ක්‍රිකට්” අනුව ඕවර 68 කින් ලකුණු 333 ක් ලබාගැනීම එතරම් විශාල අභියෝගයක් නොවේ. ඔවුන්ගේ ප්‍රබලතම පිතිකරුවන් වන ඇලෙක්ස් ලීස් (10), හසීබ් හමීඩ් (15), ටොම් හයින්ස් (20) සහ ටොම් ඇබෙල් (11)  අඩු ලකුණු සංඛ්‍යවන්ට දැවී ගියද  ලයන්ස් පිතිකරුවෝ ජයග්‍රහණය කරා යාමේ අදහස අතහැර නොදැමූහ.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් එක්කළ ජොස් බොහානන් (57) සහ ජැක් හයින්ස් (43) දෙදෙනාම ලකුණු 03 ක් ඇතුළත දැවී ගියත් සටන අත් නොහළ ජැමී ස්මිත් සහ ලයාම් පැටර්සන් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් කණ්ඩායමේ බලාපොරොත්තු දල්වා තිබියදී නිපුන් ධනංජයගේ විශිෂ්ට පන්දු රැකීමක් හේතුවෙන් පැටර්සන් දැවී ගියේය.

ඒ සමගම පැමිණි වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අවශ්‍ය වූයේ තවත් කඩුලු 3 කි. තරගය දිගටම පැවැතියේ නම් ඉතිරිව තිබූ ඕවර 20 ඇතුළතදී පහසුවෙන්ම එය ලබාගත හැකිව තිබුණද, පස්වරු 4.30 ට පමණ වර්ෂාව පැමිණි හෙයින් තරගය අතහැර දමන ලදි.

තුන්වැනි දිනය නිමාවේදී කඩුලු 3 කට ලකුණු 580 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, සිව්වැනි දිනයේදීත් පිතිහරඹයට පිවිස තවත් ලකුණු 80 ක් එකතු කරගත්තේ දිවා ආහාරය දක්වා කල් මරමිනි. ඒ අතරවාරයේදී සිය ශතකය සම්පූර්ණ කරගත් නිපුන් ධනංජය සිය පන්දු 170 ඉනිම හතරේ පහර 18 කින් සහ හයේ පහරකින් සැරසීය.

පැය 10 කට වැඩි කාලයක් පිටියේ රැඳුණු නිෂාන් මධුෂ්ක, පන්දු 423 කට මුහණ දීමෙන් පසුව ලකුණු 241 ක් ලබා දැවී ගියේය. ඔහුගේ ඉනිම හතරේ පහර 25 කින් සහ හයේ පහර 4 කින් අලංකාර විය. ඒ අතරට අද පෙරවරුව්දී ගැසූ මනස්කාන්ත ‘ඉන්සයිඩ්-අවුට්’ පහරකින් ලබාගත් ලකුණු 6 ක් ද ඇතුළත් විය.

නායක නිපුන් ධනංජය සහ නිෂාන් මධුෂ්ක දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 219 කි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු වැනි කඩුල්ලේ සිට සිව්වැනි කඩුල්ල අතර සම්බන්ධතා පිළිවෙලින් සටහන් වූයේ 203 ක්, 119 ක්, 113 ක් සහ 219 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් පිල අතර දෙවැනි සිව්දින ටෙස්ට් තරගය ලබන 7 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.

 


අදහස් (0)

කදිම තරගයකට වැස්ස හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.