Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිවියෝ එංගලන්තය 58 කට සීමා කරති

කිවියෝ එංගලන්තය 58 කට සීමා කරති

ශනුක අරවින්ද - 2018 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (22 වැනිදා) එංගලන්ත පළමු ඉනිම ලකුණු 58 කට සීමා කිරීමට නවසීලන්ත වේග පන්දු යවන්නෝ සමත් වූහ. එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවී ගිය හයවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය හැඳින්විය හැකිය.

විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 32 කට කඩුලු 6 ක්ද, ටිම් සව්ති ලකුණු 25 කට කඩුලු 4 ක්ද දවාගනිමින් එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ. එහිදී එංගලන්ත පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමටද බෝල්ට් සහ සව්ති වගබලා ගත්හ.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ක්‍රෙග් ඕර්ටන් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 33 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. ඕර්ටන් හැරුණුකොට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූ එකම එංගලන්ත පිතිකරුවා වූයේ මාර්ක් සේටොනෙමන් (11) පමණි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටි අතර නායක කේන් විලියම්සන් ලකුණු 91 ක්ද, හෙන්රි නිකලස් ලකුණු 24 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා අතර නවසීලන්ත ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 52 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන විට පළමු කඩුල්ල ලෙස ජීත් රාවල් (3) පිටියෙන් ඉවත් කිරීමට ජේම්ස් ඇන්ඩසන් සමත් වුවද, ටොම් ලේතම් (26) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීමට විලියම්සන් සමත් විය. විලියම්සන්ගේ 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 58
(ක්‍රෙග් ඕර්ටන් නොදැවී 33, ටේ‍රන්ට් බෝල්ට් 32/6, ටිම් සව්ති 25/4)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 175
(ටොම් ලේතම් 26, කේන් විලියම්සන් නොදැවී 91, රොස් ටේලර් 20, හෙන්රි නිකලස් නොදැවී 24, ජෙම්ස් ඇන්ඩසන් 32/2)

-036


අදහස් (0)

කිවියෝ එංගලන්තය 58 කට සීමා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.