Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව සායම බේරාගනී
පස්වැනි එක්දින තරගය

ඕස්ට්‍රේලියාව සායම බේරාගනී

editorial - 2022 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලකුණු 161 ක පහසු ඉලක්කය, ඕවර 39.3 කදී පසුකර ගිය ඕස්ට්‍රේලියානුවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති පස්වැනි එක්දින තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් තමන්ගේ ගෞරවය රැකගත්හ.  ශ්‍රී ලංකාව, 3-2 ක් ලෙසින් තරගාවලියේ ජය අත්කරගත් නමුත් ඕස්ට්‍රේලියානුවන් තරගාවලිය අවසන් කළේ ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමිනි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු අවස්ථාවේදී ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන්ට තුති පිදීමේ අරමුණු ඇතිව, කහ පැහැයෙන් සැරසී තරගය නැරඹීමට පැමිණි 35,000 කට ආසන්න ප්‍රේක්‍ෂකයෝ තරගය අවසානයේදී ඕස්ට්‍රේලියානු පිලට අත්පොළසන් දෙමින් ආචාර කළහ. “ඕස්ට්‍රේලියාවට ස්තුතියි” යන්න ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සිසාරා දෝංකාර දෙමින් ඇසෙද්දී, ඩේවිඩ් වෝනර්, ඒරන් ෆින්ච් සහ ග්ලෙන් මැක්ස්වෙල් ඇතුළු ඕස්ට්‍රේලියානුවෝ ප්‍රේක්‍ෂකයන්ට ආචාර කරමින් පිටිය වටා ඇවිද ගියහ.

ලකුණු 161 ක ඉලක්කය පහසු වූවත්, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ අමාරුවේ වැටුණු ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ලකුණු 50 ක් ඇතුළතදී කඩුලු 4 ක් අහිමි කරගත්හ. ඉනිමේ අඩක් අවසන් වන ඕවර 25 ක් නිමා වන විටත් ඔවන් ලබා සිටියේ කඩුලු 4 ක් දැවී ලකුණු 90 ක් පමණි. එහෙත් එතැනින් පසුව, මානස් ලැබුෂේන් (31), ඇලෙක්ස් කේරි (නොදැවී 45) සහ කැමරන් ග්‍රීන්  (නොදැවී 21) එක්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් ශ්‍රී ලංකා පිලේ කඩුලු 7 ක් ලකුණු 62 ට බිඳ වැටුණද, ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වසර 37 ක් පුරා පවතින අපකීර්තිමත් වර්තාවක්, තවදුරටත් වසාතැබූ චාමික කරුණාරත්න (75) සහ කෝඩුකාර ප්‍රමෝද් මධුශාන් (15) එක්ව, ලකුණු 160 ක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 44 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ කරුණාරත්න ලකුණු 75 කට දැවී යාමෙනි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙතෙක් පැවැති තරග 102 දී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාව 91 කි. 1985 දී ඇඩිලේඩ් නුවරදී පැවැති බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලාන තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්වැනි කඩුල්ලත් ලකුණු 62 දී බිඳ වැටීමෙන් පසුව නැඟුණු පැනය වූයේ 1985 වාර්තාව බිඳී යාද යන්නයි. එහෙත් චාමික කරුණාරත්න සහ කෝඩුකාරයා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනඟමින්, ක්‍රිකට් වාර්තා පොතේ අපකීර්තිමත් පිටුව තවදුරටත් වසා තැබූහ.

මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව කළ වික්‍රමාන්විත පිතිහරඹය නිසා ලැජ්ජාවෙන් මුහුණු වසාගැනීමට සූදානමින් සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ට තවදුරටත් සිය හිස් කෙළින් තබාගැනීමට හැකිවිය.

පන්දු 75 කට මුහුණ දුන් චාමික කරුණාරත්නට කදිම ධෛර්යයක් දුන් ප්‍රමෝද් මධුශාන් කණ්ඩායමට එක්වූයේ පන්දු යවන්නකු ලෙසිනි. එහෙත් පන්දුව අතට ගැනීමට පෙරම, පිත්තත් රැගෙන පිටියට පිවිසි දකුණත් ක්‍රීඩකයා, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට නිර්භයව මුහුණ දෙමින් පන්දු 52 කදී ලකුණු 15 ක් ලබාගත්තේ අලංකාර හතරේ පහර දෙකක් ද සිය ඉනිමට එකතු කරමිනි.

ලකුණු 143 දී, මධුශංක දැවී යාමෙන් පසුව, කරුණාරත්න තරමක් ආක්‍රමණශීලී වූයේ අනෙක් අන්තයේ සිටියේ අවසන් පිතිකරුවා වූ බැවිනි. ඇතැම් අවස්ථාවලදී ලකුණු අතහැර දමමින් සිය සහායක පිතිකරුවා ආරක්‍ෂා කරගත් කරුණාරත්න, පා දඟ පන්දු යවන මානස් ලැබුෂේන්ගේ ඕවරයකදී හයේ පහර දෙකක් ගැසූවද, ඊළඟ ඕවරයේදී ගැසූ පුල් පහරක් වැරදී යාමෙන් දැවී ගියේය.

පන්දු 75 කින් පැමිණි කරුණාරත්නගේ ලකුණු 75 ට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

වේලාසනින්ම ඉදිරිපෙළ පිතිකරුවන් දවාගනිමින්, ශ්‍රී ලංකා මැද පෙළ වෙත පීඩනය වැඩිකළ ඕස්ට්‍රේලියානුවෝ පන්දු 7 ක් ඇතුළත මැදපෙළ පිතිකරුවන් සියලු දෙනාම පිටියෙන් ඉවත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 25 වැනි ඕවරය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 85 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේදී යැවුණු ඕවර 44 කින් ඕවර 8 ක්ම නොයිඳුල් ඕවර ලෙසින් සටහන් වී තිබිණ.

මැද පෙළ කඩාවැටීම ආරම්භ වූයේ චරිත් අසලංකගේ දුවද්දි දැවී යාමෙනි.

ලකුණු 34 කට කඩුලු 3 ක් බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටී සිටියදීත්, කුසල් මෙන්ඩිස් (26) සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටි අසලංක, පිට දඟ පන්දු යවන්නා වන ග්ලෙන් මැක්ස්වෙල්ගේ පන්දුවක් එක්ස්ට්‍රා කවර්ස් කලාපයට තල්ලු කළේය. ලකුණු දෙකක් හිතේ තියාගෙන දිවීම ආරම්භ කළ අසලංක ආපසු හැරුණ නමුත්, දෙවැනි ලකුණක් එතැන නොවීය. විදුලි වේගයෙන් තමන් වෙත ආ පන්දුව තනි අතින් ඩැහැගත් මැක්ස්වෙල්, ආපසු නොහැරීම කඩුල්ල කඩා දැම්මේ මැද පෙළ විනාශය ආරම්භ කරමිනි.

ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස්, පසු පාදයට යමින් පහරක් ගැසීමට උත්සාහ කිරීමේදී ඔහුගේ පාදය වැදීමෙන් කඩුල්ල බිඳී ගියේය. මුහුණ දුන් පළමු පන්දුවටම අලංකාර කවර් ඩ්‍රයිව් පහරක් ගසමින් පන්දුව හතරේ සීමාවට යැවූ දුනිත් වෙල්ලාලගේ ඊළඟ පන්දුවට ගැසූ හිතුවක්කාර පහරකින් කඩුල්ල අහිමි කරගන්නා විටත් ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 35 ක් ඉතිරිව තිබිණ.

ඕස්ට්‍රේලියානු නායකයා, එක්දින තරගයකදී ඉතාමත් කළතුරෙකින් දක්නට ලැබෙන පිටියක් සකස් කළද, මැතිව් කුනේමන්ගේ පන්දුව දසුන්ගේ පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා පා ඉන්නේ වැදිණ. කඩුලු 3 කට 56 ක් ව තිබූ ලකුණු පුවරුව, පන්දු 7 ක් ඇතුළත, කඩුලු 7 කට 62 ක් ලෙසින් සටහන් විය. සටන එතැනින් නිමා වූ ආකාරයක් පෙනෙන්නට තිබුණද, චාමික කරුණාරත්න ඊට එරෙහිව සිටගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වෘත්තීය වශයෙන් පළපුරුදු ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක වැනි ජ්‍යෙෂ්ඨයන් තමන්ගේ අවස්ථාව නිසිපරිදි ග්‍රහණය කර නොගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීමට මූලික කාරණාව විය. ඔවුන් දෙදෙනාම දැවී ගියේ එකම ආකාරයෙනි.

චන්දිමාල්, වසර 4 ක කාලයක් ඇතුළත ක්‍රීඩා කළ එක්දින තරග 20කදී ලබා ඇත්තේ අර්ධ ශතක 3 ක් පමණි. ධනුෂ්ක ගුණතිලක, ආරම්භක පිතිකරුවකු වන නමුත් වසර දෙකකින් මෙපිට එක්දින ශතකයක් ලබාගෙන නැත.

(ඡායාරූප - හිමත් මතීෂ)


අදහස් (0)

ඕස්ට්‍රේලියාව සායම බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.