
දෙපිලම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රදර්ශනාත්මක පිතිහරඹයක නිරත වූහ. පළමුව ඕස්ට්‍රේලියානු කාන්තාවෝත්, දෙවනුව ඉන්දීය කාන්තාවෝත් තම තමන්ගේ පිතිහරඹයේ තරම පෙන්වද්දී නවී මුම්බායි නුවර ඩී.වයි. පතෙල් ක්‍රීඩාංගණයේ සිටි දහස් සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීහු සිය ජීවිත කාලයටම අමතක නොවන තරගයක් පියවි ඇසින් දැකබලා ගත්හ.
ඕස්ට්‍රේලියානුවන්ට සිය පරාජය මෙන්ම ඉන්දියානුවන්ට සිය ජයග්‍රහණයත් ඇදහිය නොහැකි විය.
ලෝක ශූරියන් වූ ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගේ අපරාජිත වාර්තාව මකා දමමින්, නවී මුම්බායි නුවර අද (30 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කාන්තාවෝ කඩුලු 5 ක අති විශිෂ්ට ජයක් අත්කර ගත්හ. අවසන් මොහොත වන තුරුම පිටියේ රැඳී සිටි ජෙමීමා රොඩ්රිගුවස් (නොදැවී 127) සිය කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් කරා කැඳවාගෙන යාමෙන් පසුව සිටියේ කඳුලු පිරි දෙනෙතිනි.
ඉන්දීය කාන්තා කණ්ඩායමක් පළමු වතාවට, ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ලබන ඉරිදා (2 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දීය කාන්තාවන් සහ දකුණු අප්‍රිකානු කාන්තාවන් තරග වදිනු ඇත.
ලකුණු 339 ක ඉලක්කයක් කරා යාමට පිටියට පිළිපන් ඉන්දීය කණ්ඩායමේ ශෆාලි වර්මා (10) සහ ස්ම්‍රිති මන්දනා (24) වේලාසනින්ම දැවී ගියහ. එහෙත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 167 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජෙමීමා රොඩ්‍රිගුවස් සහ නායිකා හර්මන්ප්‍රීත් කෞර් (89) දෙදෙනා, ඉන්දීය කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන ආහ. ඒ අතරවාරයේදී ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගේ පිටියේ පන්දු රැකීම හොඳ තත්ත්වයක පැවතුණත් උඩපන්දු රැකගැනීම බෙහෙවින් දුර්වලව තිබිණ. මේගන් ෂූට් සහ සොෆී මොලිනෙක්ස් දෙදෙනාම ඉලක්කයකින් තොරව පන්දු යැවූහ.
33 වැනි ඕවරයේදී ලකුණු පුවරුව සටහන් වූයේ 206/2 ක් ලෙසිනි. මෙම අවස්ථාවේදී ජෙමීමා රොඩ්‍රිගුවස්ගේ ඉතාම පහසු උඩපන්දුවක් ඕස්ට්‍රේලියානු නායිකා ඇලිසා හිලි අතින් ගිළිහී ගියේ එම උඩපන්දුව රැකගැනීමට පන්දු යැවූ අලානාටත් ඉතාම පහසු අවස්ථාවක් තිබියදීය. ඒ වන විට ජෙමීමා ලබා සිටියේ ලකුණු 82 කි. මෙම උඩපන්දුව තරගයේ තීරණය වෙනස් කළ සාධකය විය.
1999 දී ස්ටීවන් වෝගේ උඩපන්දුවක් බිම දැමූ හර්ෂල් ගිබ්ස් ලෝක කුසලානය අතෑරියා වාගේම, 2025 දී ජෙමීමා රොඩ්‍රිගුවස්ගේ උඩපන්දුවක් බිම දැමූ ඇලිසා හීලි ද ලෝක කුසලානය අතහැරියාය. එතැන් සිට තිබුණේ ඉන්දීය පිතිකාරිණියන්ගේ ආත්ම ධෛර්යය සමග සටන් වදිමින් පීඩනය හමුවේ සසළව ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ දුර්වල පන්දු යැවීමේ නාට්‍යයකි.
තණතීරුවේ මුල් වාසිය ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තාවෝ තීරණය කළහ.
ඉන්දීය පන්දු යවන්නියන් තඹයකට මායිම් නොකළ ෆෝබී ලිච්ෆීල්ඩ් (119) සහ එළිස් පෙරී (77) දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 155 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එම සම්බන්ධතාව මත සිටිමින් ඉන්දීය කාන්තාවන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළුෑ ඈෂ්ලි ගාඩ්නර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පිතිකාරිණියෝ, නියමිත ඕවර 50 නිමාවීමට පෙර ලකුණු 338 ක් ලබාගත්හ.
49 වැනි ඕවරය ක්‍රියාත්මකව තිබියදීත් ඕස්ට්‍රේලියානු කාන්තාවන් කඩුලු 6 කට ලකුණු 330 ක් ලබා සිටි නමුත් අනපේක්‍ෂිත ආකාරයෙන් ඈෂ්ලි ගාඩිනර් දැවීයාමෙන් පසුව අවසන් කඩුලු හතරම ලකුණු 7 ක් තුළ බිඳ වැටිණ. ඇෂ්ලි ගාඩිනර්, තාලියා මැග්‍රාත් සහ කිම් ගාත් යන තිදෙනාම දුවද්දී දැවී ගියහ.
වර්ෂාවට පෙර යැවිය හැකිවූයේ ඕවර 5 කි. වර්ෂාව පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී හීලි ලකුණු 5 කට දැවී ගියාය.
වර්ෂාවෙන් පසු තරගය ආරම්භ වීමෙන් අනතුරුව එකවරම ලකුණු වේගය ඉහළට ගත් ලිච්ෆීල්ඩ් සහ පෙරී දෙදෙනා ඕවර 5 කින් ලකුණු 47 ක් එකතු කරමින් 10 වැනි ඕවරය නිමාවන විට ලකුණු 72 ක් පුවරුවට එකතු කළහ. ඕස්ට්‍රේලියානු උපාය වූයේ එක අන්තයකින් ලිච්ෆීල්ඩ් ලකුණු කරා යද්දී අනෙක් අන්තයේ සිටි එලිස් පෙරී කඩුල්ල රැකගැනීමයි. 15 වැනි ඕවරය නිමාවන විට ලිච්ෆීල්ඩ් ලකුණු 55 ක් ලබා සිටි අතර පන්දු 29 කට මුහුණ දුන් එලිස් පෙරී ලබා සිටියේ ලකුණු 29 කි. ලිච්ෆීල්ඩ්ගේ ලකුණු 55 න් 40 ක්ම හතරේ පහර වලින් පැමිණි ලකුණු විය.
ශ්‍රී චරණිට හයේ පහරකින් සංග්‍රහ කළ ලිච්ෆීල්ඩ්, ඊළඟ පන්දුවට ගැසූ රිවර්ස් ස්වීප් පහරකින් අමන්ජෝත් කෞර් උඩපන්දුවක් ලබාගත්තාය. එහෙත් විතීවි ක්‍රමවේදයෙන් තහවුරු වූයේ එය උඩ පන්දුවක් නොව, බිම වැදී ගිය පන්දුවක් බවයි. ඒ වන විට ලකුණු පුවරුව 107/1 ක් ලෙසින් සටහන් කළ අතර ලිච්ෆීල්ඩ් ලකුණු 62 ක් ලබා සිටියාය. එහෙත් එයින් මෙල්ල වූයේ ලිච්ෆීල්ඩ් නොවේ. ශ්‍රී චරණිගේම පන්දුවක් හතරේ සීමාවට යැවූ වමත් පිතිකාරිණිය පන්දු 77 කින් සිය ශතකය සම්පූර්ණ කළාය. පන්දු 93 කට පසුව ඇය දැවී යන විට හතරේ පහර 17 ක් සහ හයේ පහර 3 ක් ලිච්ෆීල්ඩ්ගේ ඉනිමට ඇතුළත් වූ අතර හයේ පහර 3 න් දෙකක් දීප්ති ෂර්මාගේ පිට පිට පන්දු දෙකකට ගැසූ ඒවා විය.
ලිච්ෆීල්ඩ් දැවී ගියද එලිස් පෙරීගෙන් ගැලවීමක් ඉන්දීය පන්දු යවන්නියන්ට නොතිබිණ. 40 වැනි ඕවරය දක්වාම පිටියේ රැඳුණු එලිස්, පන්දු 88 කින් ලකුණු 77 ක් ලබාගත් නමුත් ඇයගේ ලකුණු 36 ක්ම හතරේ සහ හයේ පහර වලින් පැමිණියේය. එලිස් පෙරී දැවීයාමෙන් පසුව ඉන්දීය පන්දු යවන්නියෝ ඈෂ්ලි ගාඩ්නර්ගේ දඬුවමට යටත් වූහ. පන්දු 45 කින් ලකුණු 63 ක් ලබාගත් ගාඩ්නර්ගේ ලකුණු 40 ක් ම පැමිණියේ හතරේ සහ හයේ පහර වලිනි.
ඕස්ට්‍රේලියාව - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 338 යි
(ෆෝබී ලිච්ෆීල්ඩ් 119, එළිස් පෙරී 77, බෙත් මූනි 24, ඈෂ්ලි ගාඩිනර් 63, තයිලා මැග්‍රාත් 12, කිම් ගාත් 17, ශ්‍රී චරණි 49/2, දීප්ති ෂර්මා 73/2)
ඉන්දියාව - ඕවර 48.3 කදී කඩුලු 5 ට 341 යි
(ශෆාලි වර්මා 10, ස්මි්‍රති මන්දනා 24, ජෙමීමා රොඩි්‍රගුවස් නොදැවී 127, හර්මන්ප්‍රීත් කෞර් 89, දීප්ති ෂර්මා 24, රිචා ගෝෂ් 26, අමන්ජෝත් කෞර් නොදැවී 15, කිම් ගාත් 46/2, ඇනබෙල් සදර්ලන්ඩ් 69/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.