Last Update  :  2026-02-26 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 96 වැනි සුලෝහිත සංග්‍රාමය හෙට සිට

96 වැනි සුලෝහිත සංග්‍රාමය හෙට සිට

editorial - 2026 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ කුසලාන වෙනුවෙන් 96 වැනි වරටත් පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (27 වැනිදා) සිට මාර්තු මස 1 වැනිදා දක්වා පුරා දින තුනක් කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම වසරේදී (2026) ආනන්ද විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කිත්ම විදානපතිරණට හිමිවී ඇති අතර ඔසඳ හෙට්ටිආරච්චි විසින් නාලන්දා විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. නෙතුල එදිරිමාන්න ආනන්ද විදුහල් කණ්ඩායමේත්, නදුල් ජයලත් නාලන්දා විදුහල් කණ්ඩායමේත් උප නායකයෝ ලෙස කටයුතු කරති. 

දෙවිදුහල් අතර 1924 වසරේදී ආරම්භ වී ඇති මෙම මහ ක්‍රිකට් තරගය මේ දක්වා 95 වරක් පවත්වා තිබේ. ඉන් තරග 12 ක ජය තමන් සතුකර ගැනීමට ආනන්ද විදුහල සමත්ව ඇති අතර නාලන්ද විදුහල ජයග්‍රහණය 7 කට හිමිකම් කියයි. තරග 76 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. 

2022 වසරේදී පැවැති සුලෝහිත සංග්‍රාමය ජය ගැනීමට නාලන්දා විදුහල සමත් වූ අතර දිනෙත් සමරවික්‍රමගේ නායකත්වය යටතේ ඔවුන් එම ජයග්‍රහණයට හිමිකම් කීවේ වසර 69 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමක් විය. ආනන්ද විදුහල අවසන් වරට සුලෝහිත සංග්‍රාමය ජයගෙන ඇත්තේ මින් වසර 23 කට පෙර එනම් 2003 වසරේදී දුමින්ද කුලරත්නගේ නායකත්වය යටතේය. 

මහ ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් 49 වැනි වරට පැවැත්වෙන එක්දින තරගය මාර්තු මස 7 වැනිදා එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. මෙතෙක් පැවැති තරග 48 න් තරග 27 ක් ජයගැනීමට නාලන්දා විදුහල සමත්ව ඇති අතර ආනන්ද විදුහල ජයගෙන ඇති තරග සංඛ්‍යාව 15 කි. තරග 6 ක් විසඳුමකින් තොරව නිමාවට පත්වී ඇත. 

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් ද්විත්වයක් වන මෙම පාසල් දෙක මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සංඛ්‍යාවද (ක්‍රීඩකයින් 55 කට වැඩි) බිහිකර තිබේ. එම ක්‍රීඩකයින් අතුරින් 6 දෙනකු එනම් දිවංගත බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙවීමේ ගෞරවයටද හිමිකම් කියති.
 
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක දිවංගත බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩකයකි. 
ඔවුන්ට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි, චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, අවිෂ්ක ගුණවර්ධන, සචිත්‍ර සේනානානයක ආනන්ද විදුහලෙන්ද, අසංක ගුරුසිංහ සහ කුමාර් ධර්මසේන නාලන්දා විදුහලෙන්ද බිහිවූ ක්‍රීඩකයෝ වෙති.  


ආනන්ද විදුහල් සංචිතය   
කිත්ම විදානපතිරණ (නායක), නෙතුල එදිරිමාන්න (උප නායක), ආශිංස නයිනායක, බිනර ඉඳුවර, දෙනෙත් බිම්සර, මිෂික අබේවර්ධන, විශ්ව වරාගොඩ, ශාරද ජයරත්න, ඔවින් පෙරේරා, රෂාන් විජේරත්න, හිමිර කුඩාගම, දනිරු රණසිංහ, චමත්ක ඉරුෂ, දසිත් බටුගහගේ, නිලෙත් සුලීව්, තිනුර මාකෙවිට, ලිත්ම පෙරේරා, දනිඳු සෙල්ලප්පෙරුම, ජනදීප් ඔකාෂ්, කැලුම් ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු), ධරන්ත මෙනෙරිගම මහතා (සහාය පුහුණුකරු), ලක්ෂාන් හේවගේ මහතා (සහාය පුහුණුකරු) සහ හසල සංකල්ප මහතා (භෞතචිකිත්සක) 


නාලන්දා විදුහල් සංචිතය   
ඔසද හෙට්ටිආරච්චි (නායක), නදුල් ජයලත්, නෙමිඳු අක්මීමන, සන්තුල් විජේරත්න, මල්ෂ ප්‍රනාන්දු, හසිත් රත්නායක, රන්මිත් සේනාරත්න, මිහින් සොයිසා, ගෙවිඳු මනම්පේරි, ඔමිත් රත්නායක, මෙතුක පෙරේරා, ගයුක හේරත්, දුනාල් සෙන්දනායක, දුනිත රණසිංහ, ලිතුම් විජේකුමාර, සහස් ගොඩගේ, තිවිරු රණසිංහ, සදෙව් විජේස්කර, නුවන් සොයිසා මහතා (ප්‍රධාන පුහුණුකරු), නිමන්ත පීරිස් මහතා (සහාය පුහුණුකරු) 


අදහස් (0)

96 වැනි සුලෝහිත සංග්‍රාමය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.