
(ශානුක අරවින්ද)
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සහ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් සමාජ නැඟී එන කණ්ඩායම් තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනයේදී (23 වැනිදා) සෙබස්තියනයිට්ස් පළමු ඉනිම ලකුණු 167 කට සීමා කිරීමට ද්‍රවිඩ සංගම් පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී සෙබස්තියනයිට්ස් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විමුද සප්නක හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය. ද්‍රවිඩ සංගම් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දිලුම් සුදීර ලකුණු 65 කට කඩුලු 7 ක් දවාගනිමින් සෙබස්තියනයිට්ස් පළමු ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 87 ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ද්‍රවිඩ සංගම් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය. දිනය නිමාවන විට සන්තුෂ් ගුණතිලක සහ දිලුම් සුදීර ලකුණු 10 බැගින් ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමු දිනය වූ ඊයේ (22 වැනිදා) කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටි ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 53 ක් එක්කර ගත්හ. එහිදී රවිඳු ප්‍රනාන්දු (76) සහ රවීන් ද සිල්වා (30) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 254
(සුපුන් කාවින්ද 24, සංතුෂ් ගුණතිලක 27, රවිඳු ප්‍රනාන්දු 76, කවිඳු පතිරත්න 24, රවීන් ද සිල්වා 30, දිලුම් සුදීර 23, තරිඳු රත්නායක 113/5, සඳුන් ප්‍රනාන්දු 24/2, මනෙල්ක ද සිල්වා 36/2)
සෙබස්තියනයිට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 167
(සඳුන් ප්‍රනාන්දු 26, තරිඳු රත්නායක 23, විමුද සප්නක 46, දිලුම් සුදීර 65/7)
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 39
(තරිඳු රත්නායක 14/2)


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.