
(දමින්ද විජේසූරිය)
----------------------------------------------------------------------------------------------------------------------------------------------
තේ පානය වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානයෙන් පැයක කාලයකට පසුව කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියේය. විනාඩි 60 ක කාලයකදී කඩුල්ලක් දවාගැනීමට කොදෙව් පිල අපොහොසත් වූ නමුත් ඒ අතරවාරයේදී ලකුණු 50 ක් ලබාගැනීමට ධනංජය ද සිල්වා (නොදැවී 131) සහ ලසිත් ඇඹුල්දෙණිය (නොදැවී 08) සමත්ව සිටිති.
දෙදෙනා අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ඒ වනවිට පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 67 ක් වී තිබිණ.
----------------------------------------------------------------------------------------------------------------------------------------------
ධනංජය ද සිල්වාගේ (නොදැවී 96) අප්‍රතිහත ධෛර්යය නිසා දෙවැනි ඉනිමේදී හිස් ඔසවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා අවතීර්ණ වී සිටිති. ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ සිව්වැනි දිනය වන අද (02 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පිල ඒ වන විට ලකුණු 189 ක් ඉදිරියෙන් සිටි අතර කොදෙව් පිලේ අභියෝගය තවත් ලකුණු කිහිපයකින් අසීරු කිරීම සඳහා කඩුලු දෙකක් ශ්‍රී ලංකා පිල සතුව තිබේ.
දිවා ආහාරයෙන් පසුව ගතවූ පැයක කාලයේදී ශ්‍රී ලංකා පිලට කඩුල්ලක් අහිමි විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 02 කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා සහ රමේෂ් මෙන්ඩිස් (25) එක්ව කඩුලු 5 කට ලකුණු 208 ක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලුකරගෙන ගියහ. දෙදෙනා අතර 6 වැනි කඩුල්ල වෙනුවන් පැවැති ලකුණු 51 ක සම්බන්ධතාව බිඳී ගියේ ක්‍රෙග් බ්රැත්වෙයිට්ගේ උගුලක රමේෂ් මෙන්ඩිස් අසුවීමෙනි.
ඉතාම හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මෙන්ඩිස් දවාගැනීම සඳහා පා ඉන්න පැත්තෙන් හතරේ සීමාව ආසන්නයේ පන්දු රකින්නන් රැඳවූ කොදෙව් නායකයා තෙමේම පන්දු යැවීම ඇරඹීය. දුර්වල පන්දුව පෙනි පෙනී පහරට පෙළඹුණු මෙන්ඩිස්ගේ පිත්තේ පන්දුව හොඳින් වැදුණු නමුත් ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි කෙමාර් රෝච්ගේ දෑත් අතර නතර වූයේ උඩපන්දුවක් ලෙසිනි.
පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසියද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණක් පමණි.
දිවා ආහාරයට පෙර යැවුණු අවසන් පන්දුවේදී දැවී යාමට පෙර පීඩනයේ බර දරා ගනිමින් නොසැලී ඉදිරියට ගිය පැතුම් නිස්සංක (66) සහ ධනංජය ද සිල්වා දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගැනීම සඳහා අනගි මෙහෙවරක් කළහ. ලකුණු 78 ක් දක්වා ඇදී ගිය මෙම පිතිකරුවන් දෙදෙනාගේ ධෛර්යය සම්පන්න සම්බන්ධතාව නිසා ලකුණු 39 කට කඩුලු දෙකක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 208 ක් දක්වා ඉදිරියට ගියේය.
අද උදෑසන පිටියට පිවිසි නිස්සංක සහ කෝඩුකාරයා වූ චරිත් අසලංක දෙදෙනාගෙන් කෝඩුකාරයා ලකුණු 19 කට දැවී ගියේ වීරසාමි පෙරුමාල්ගේ ඉතාමත් හොඳ පන්දුවකිනි. අසලංකගේ පිත්තේ යන්තමින් වැදුණු පන්දුව පා ආවරණයේ වැදී ඉහළ යද්දී ෆෝවර්ඞ් ෂෝට් ලෙග් හි සිටි නිකෲමා බෝනර් එය උඩපන්දුවක් කරගත්තේය.
දිවා ආහාරයට පෙර රොස්ටන් චේස් විසින් යවන ලද අවසන් පන්දුවට පසු පාදයේ ක්‍රීඩා කළ නිස්සංකගේ පා අවරණයේ ඉහළ කොටසේ පන්දුව වැදිණ. පිතිකරුවා දැවී ගිය බව විනිසුරු කුමාර් ධර්මසේන මහතාගේ තීරණය වූවත් විතීවි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නිස්සංක උත්සුක වූයේය. එහෙත් පන්දුවේ ගමන්මග පෙන්වන තාක්ෂණයෙන් තහවුරු වූයේ පන්දුව පා ඉන්නේ බේලය බිඳගෙන යන බවකි.
නිස්සංකගේ පැය තුන හමාරකට වැඩි ඉනිම පන්දු 217 කට පසු නිමාවිය.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.