Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලයේදී එක්වූ වඩාත්ම විශ්වාසය තැබිය හැකි යොවුන් පිතිකරුවා වන පැතුම් නිස්සංකගේ පිටකොන්දේ ආබාධය තවමත් සුවපත් වී නැත. ඒ හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.
බංග්ලාදේශ සංචාරය සඳහා තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් 22 දෙනකු සමන්විත මූලික සංචිතයට පැතුම් නිස්සංක ඇතුළත් වී සිටියේය. එහෙත් පිටකොන්දේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් නිස්සංක බංග්ලාදේශ සංචාරය සඳහා තෝරා නොගැනීමට තේරීම් කමිටු නිලධාරීන් පියවර ගෙන ඇත. කෙසේ වෙතත් ලබන මාසයේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා පැතුම් නිස්සංක සූදානම් වනු ඇතැයි ක්‍රිකට් නිලධාරීහු කියති.
පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව මොහාලිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් බැංගලෝර් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළේය. එතැන් සිට මාසයක කාලයක් පැතුම් නිස්සංක ක්‍රීඩා නොකළ අතර නැෂනල් සුපර් ලීග් තරගාවලියටද සහභාගි නොවීය.
එවන් තත්ත්වයකදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආකෘති තුනේම (ටෙස්ට්, එක්දින සහ විස්සයි-20) ක්‍රිකට් තරග වලට සහභාගි වන පැතුම් නිස්සංකගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලය සහ භෞත චිකිත්සකවරුන් අවධානය නොකිරීම සම්බන්ධයෙන් කණ්ඩායමේ සහාය නිලධාරීහු ප්‍රශ්න කරති.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නෝර්ත් සවුන්ඩ්හිදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් (103) ලබාගත් පැතුම් නිස්සංක, ටෙස්ට් තරග 7 කදී ලකුණු 494 ක් රැස්කරගෙන තිබේ. ඔහුගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 44.90 කි. සිය අවසන් ටෙස්ට් තරග තුනේදී පැතුම්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 56, 03, 73, 66, නොදැවී 61 ක් සහ 06 ක් ලෙසිනි.
පැතුම් සංචිතයට එක්නොවීම හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර හෝ ඕෂධ ප්‍රනාන්දු දෙදෙනාගෙන් අයෙක් දිමුත් කරුණාරත්නගේ සහාය ආරම්භක පිතිකරුවා විය හැකි බවද දැනගන්නට තිබේ. කෙසේ වෙතත් නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසකට පැමිණ නැති බවද දැනගන්නට ඇත.
මූලික සංචිතයට ඇතුළත්ව සිටි රොෂේන් සිල්වා එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තයට ගොස් සිටී. රොෂේන් වෙනුවට ශ්‍රී ලංකා මූලික සංචිතයට එක්වූ කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශයට යන ක්‍රීඩකයන් 18 දෙනා අතරට එක්වී තිබේ. පසුගියදා නිමාවූ නැෂනල් සුපර් ලීග් (සිව්දින) තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස්, එහිදී තරග 6 කදී, ශතක 4 ක් සමගින් ලකුණු 886 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් අන්තර් ප්‍රාන්ත තරගාවලියට සහභාගි වන බැවින් එහි සිට බංග්ලාදේශය බලා පැමිණෙනු ඇත. බංග්ලාදේශයේ අබානි පිල නියෝජනය කරමින් සිටින ධනංජය ද සිල්වා එතැනින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ලබන ඉරිදා (8 වැනිදා) ඩකා නුවර බලා පිටත්ව යයි.
තරගාවලියේ පළමු තරගය මේ මස 15 වැනිදා චිතගොන් නුවරදී ආරම්භ වේ.
බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), කමිල් මිෂාර, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දක්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.