අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සිවුවැනි සතිය අවසාන වනවිට එස්.එස්.සී පිල නියෝජනය කරන දිමුත් කරුණාරත්න තරග තුනකට සහභාගීවී ලකුණු 371 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත.
ශතක දෙකක් සහ අර්ධ ශතකයක් රැස්කර ඇති දිමුත් කරුණාරත්න බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ලබාගත් ලකුණු 143 මෙවර තරගාවලියේදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 202) ලබාගත් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේය.
තරග තුනකට සහභාගීවී කඩුලු 27 ක් බැගින් බිද හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් බවට පත්වන්නට වමතින් දගපන්දු යවන්නන් වන එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වූහ. ඉනිම හතරකදී කඩුලු 5 බැගින් දවාගෙන ඇති ඇඹුල්දෙණිය තරග දෙකකදී කඩුලු 10 බැගින් දවාගැනීමට සමත්වී ඇති අතර ඉනිම හතරකදී කඩුලු 5 බැගින් දවාගත් පුෂ්පකුමාර කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදී දවාගෙන ඇත.
තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම කෝල්ට්ස් පිලට එරෙහිව වාර්තා කිරීමට සී.සී.සී. පිල නියෝජනය කරමින් පා දඟපන්දු යවන වනිඳු හසරංග (26/8) සමත්වී තිබේ. ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්) අලංකාර අසංක (බදුරලිය) සහ සචිත්‍ර සේනානායක (එස්.එස්.සී) කඩුලු හත බැගින් දවාගැනීමට සමත්ව සිටිති.
තරගයක හොදම පන්දු යැවීම බදුරලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන චානක කොමසාරූ (73/12) සමත්වී ඇත. කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය කඩුලු 11 දවාගනිමින් තරගයක හොඳම පන්දු යැවීම් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය.
මේ වනවිට තරගාවලියේදී රැස්කළ පළමු සහ එක්ම ද්විත්ව ශතකයට හිමිකම් කීමට කෞෂාල් සිල්වා (එස්.එස්.සී) සමත්වී ඇති අතර ශතක දෙක බැගින් ලබාගැනීමට ප්‍රීමෝෂ් පෙරේරා (මූවර්ස්), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය) සහ දිමුත් කරුණාරත්න (එස්.එස්.සී.) සමත්ව සිටිති.
මෙම සති අන්තයේ අවසන්වූ තරග වලදී ශෙහාන් ජයසූරිය (හලාවත මේරියන්ස්), ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), මදුක ලියනපතිරණගේ (වරාය අධිකාරිය), චාමර සිල්වා (මූවර්ස්), දිමුත් කරුණාරත්න (එස්.එස්.සී), චාමර කපුගෙදර (එස්.එස්.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), තරංග පරණවිතාන (ද්‍රවිඩ සංගමය), සුරාජ් රංදීව් (බී.ආර්.සී), ජීවන් මෙන්ඩිස් (ද්‍රවිඩ සංගමය) ශතක රැස්කිරීමට සමත්වූහ.
බදුරලිය කණ්ඩායමේ අලංකාර අසංක කඩුලු 7 ක් දවාගත් අතර වරාය අධිකාරීය කණ්ඩායමේ චානක කොමසාරූ ඉනිම දෙකේදීම කඩුලු 6 බැගින්ද හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාරද සහ මූවර්ස් කණ්ඩායමේ සජීව වීරකෝන් කඩුලු 6 බැගින්ද දවාගනිමින් මෙම සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූහ. යුදහමුදා කණ්ඩායමේ ජනිත් ද සිල්වා, සී.සී.සී. කණ්ඩායමේ සචිත් පතිරණ සහ ද්‍රවිඩ සංගම් පිලේ ප්‍රමෝද් මදුශාන් කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.
2017/12/30 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.