Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල ක්‍රීඩකයෝ වැඩි ගෞරව දිනති
ජාතික සුපිරි ලීගය

දඹුල්ල ක්‍රීඩකයෝ වැඩි ගෞරව දිනති

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය අද (9 වැනිදා) ජය පාරාජයෙන් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 266 ක් ලබා කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 284 ක් ඉදිරියෙන් සිටියේය. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු නිෂාන් මදුෂ්ක හතරේ පහර 6 ක් සමග ලකුණු 107 ක්ද, කවීන් බණ්ඩාර හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 100 ක්ද ලබා සිටියහ. 

දඹුල්ල දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස තනුක දාබරේ ලකුණු 44 කට දවාගැනීමට දුෂාන් හේමන්ත සමත් වීමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට නිෂාන් සහ කවීන් සමත් වූහ. පළමු ඉනිමේදී ලකුණු 97 ක් ලබා සිටියදී දැවී ගිය නිෂාන්, දෙවැනි ඉනිමේදී රැස්කළ ලකුණු 107 ත් සමග මෙම තරගයේදී රැස්කළ මුලු ලකුණු සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ දමාගත්තේය. 

තෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 366 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ 24 ක් පමණි. එහිදී රවිඳු රසාන්ත (69), තරිඳු අමරසිංහ (52), ධනංජය ලක්ෂාන් (53), ප්‍රභාත් ජයසූරිය (54) සහ චරිත් අසලංක (67) අර්ධ ශතක ලබාගත්හ. දඹුල්ල ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ශක්ති උදාර ලකුණු 97 කට කඩුලු 4 ක් බිඳහෙළීය. 


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 408 
(නිෂාන් මදුෂ්ක 97, තනුක දාබරේ 56, කවින් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, කවිඳු පතිරත්න 49, අකිල ධනංජය නොදැවී 26, ප්‍රභාත් ජයසූරිය 110/3, ජනිත් ලියනගේ 28/2, චමෝද් බට්ටගේ 57/2) 

කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 390 
(රවිඳු රසාන්ත 69, තරිඳු අමරසිංහ 52, ධනංජය ලක්ෂාන් 53, ප්‍රභාත් ජයසූරිය 54, ජනිත් ලියනගේ 47, චරිත් අසලංක 67, ශක්ති උදාර 97/4, අකිල ධනංජය 90/3, කවිඳු පතිරත්න 68/2) 

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 266 
(නිෂාන් මදුෂ්ක නොදැවී 107, තනුක දාබරේ 44, කවින් බණ්ඩාර නොදැවී 100) 

 


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩකයෝ වැඩි ගෞරව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.