
එළබෙන වසරේදී (2026) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවීමටත්, ඒ වෙනුවට පාකිස්තාන සුපර් ලීග් ක්‍රීඩා කිරීමටත් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆෆ් ඩුප්ලෙසිස් තීරණය කර ඇත.
"අයි.පී.එල්. තරගාවලි 15 කට ක්‍රීඩා කළාට පස්සෙ, ලබන වසරේ වෙන්දේසියට මගේ නම ඉදිරිපත් නොකිරීමට මම තීරණය කළා. ආපසු හැරිලා බලනකොට එය හුඟක් අමාරුවෙන් ගත්තු බරපතල තීරණයක්." යනුවෙන් ඩුප්ලෙසිස් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් කර ඇත.
"මේ ලීගය මගේ ගමනේ විශාල කොටසක් වුණා. ලෝක මට්ටමේ කණ්ඩායම් සගයන් සමග, විශිෂ්ඨ කණ්ඩායම් වෙනුවෙන් සහ පුදුමාකාර ආශාවක් ඇති රසිකයන් ඉදිරියේ ක්‍රීඩා කිරීමට තරම් මම වාසනාවන්ත වුණා. ඉන්දියාව මට මිත්‍රත්වයන්, පාඩම් රැසක් වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසත් පුද්ගලයෙකු ලෙසත් මා හැඩගස්වා ගැනීමට මතකයන් රැසක් ලබා දීලා තියෙනවා."
මේ වන විට අයි.පී.එල්. තරග 154 කට සහභාගී වී ඇති ඩුප්ලෙසිස්, ලබන වසරේදී නැතත් අනාගතයේදී නැවතත් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන බවට ඉඟියක්ද සිය සමාජ මාධ්‍ය සටහන් වලට ඇතුළත් කර ඇත.
"වසර 14 ක් කියන්නේ දිගු කාලයක්. මේ කාලය තුළ මට මේ තරගාවලියෙන් මට ලැබුණු දේ ගැන මම හුඟක් ආඩම්බර වෙනවා. ඉන්දියාවට මගේ හදවතේ විශේෂ තැනක් තියෙනවා. ඒ නිසා මේක සමුගැනීමක් නෙවෙයි. මේ තරගාවලිය තුළ ඔයාලා මාව ආයෙමත් දකීවි." යැයි ඔහුගේ සටහනේ දැක්වේ.
"ලබන වසරෙදි මම නව අභියෝගයක් භාර ගැනීමට සූදානමින් ඉන්නවා. ඒ සඳහා එළබෙන පී.එස්.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එය මට අලුත් අත්දැකීමක් වේවි. ක්‍රීඩකයෙකු ලෙස වර්ධනය වීමට වගේම ඇදහිය නොහැකි දක්ෂතාවලින් පිරුණු ලීගයක් වැළඳ ගැනීමට අවස්ථාවක් වේවි. මම පාකිස්තානයේ ආගන්තුක සත්කාර බලාපොරොත්තුවෙන් ඉන්නවා." යැයිද එහි දැක්විණ.
අවසන් වරට පැවැති 2025 අයි.පී.එල්. තරගාවලියේදී ඩුප්ලෙසිස් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තරග නවයකදී ලකුණු 202 ක් රැස් කළ අතර ඔවුන්ගේ නිත්‍ය නායක අක්ෂර් පටේල් ආබාධයකට ලක්ව සිටි විට තරග දෙකකදී කණ්ඩායම මෙහෙයවීමටද කටයුතු කළේය. කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසියට පෙර දිල්ලි කණ්ඩායම ඔහුව නිදහස් කිරීමට පියවර ගත්තේය.
සමස්තයක් ලෙස ගත්කළ ඩුප්ලෙසිස් අයි.පී.එල්. තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් අතර සිව්වැනි ඉහළම ලකුණු ලාභියාද වේ. දිල්ලි කැපිටල්ස් හැරුණු විට, ඔහු චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ රයිසින් පුනේ සුපර්ජයන්ට්ස් යන කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර චෙන්නායි සමග තෙවරක් ශූරතාව දිනාගැනීමටද සමත්ව ඇත.
ඩුප්ලෙසිස් මින් පෙරද පී.එස්.එල්. තරගාවලියට ක්‍රීඩා කර ඇති අතර 2019 වසරේ සිට 2021 වසර දක්වා පේෂාවර් සල්මි සහ ක්වේටා ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් වෙනුවෙන් තරග හයකට ඔහු සහභාගී වී ඇත. එළබෙන අයි.පී.එල්. තරගාවලිය මාර්තු සහ මැයි මාස අතර පැවැත්වීමට නියමිත අතර පී.එස්.එල්. තරගාවලිය අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.