Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුජරාට් ක්‍රීඩකයෝ යළිත් පෙරමුණ ගනිති
අයි.පී.එල් - 2025

ගුජරාට් ක්‍රීඩකයෝ යළිත් පෙරමුණ ගනිති

editorial - 2025 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 56 ක් අවසන් වන විට යළිත් වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ලකුණු 16 ක් ලබා සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 11 න් 8 ක් ජයගෙන සිටින ගුජරාට් ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ තරග 3 ක් පමණි. 

ගුජරාට් කණ්ඩායම දෙවැනි වරට ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (6 වැනිදා) මුම්බායි නුවරදී පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3 ක ජයක් වාර්තා කරමිනි. එතෙක් ඔවුන් ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවූ අතර එහි පෙරමුණ ගෙන සිටියේ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමය. 

මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන බෙංගලූරු කණ්ඩායමද තරග 11 කට සහභාගි වී ඉන් තරග 8 ක් ජයගෙන, 3 ක් පරාජය වෙමින් ලකුණු 16 ක් ලබා සිටියි. එහෙත් ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට ගුජරාට් කණ්ඩායමට වඩා පියවරක් පසු බැසීමට සිදුව තිබේ. මේ වන විට ගුජරාට් කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 0.793 ක අගයක් ගන්නා අතර බෙංගලූරු කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 0.482 ක අගයක් ගනී. 

පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම තරග 11 කට සහභාගි වෙමින් ජයග්‍රහණ 7 ක් සහ පරාජයන් 3 ක් ලබා සිටින අතර ඔවුන් සහභාගි වූ එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව ලකුණු 15 ක් ලබා සිටින පන්ජාබ් ක්‍රීඩකයෝ ලණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටිති. 

දින කිහිපයකට පෙර ලකුණු සටහනේ පෙරමුන ගෙන සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට ලකුණු 14 ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි ස්ථාන‍යේ රැදී සිටියි. තරග 12 කට සහභාගි වී ඇති ඔවුන් ජයග්‍රහණ 7 ක් ලබා ඇති අතර සෙු තරග 5 පරාජයට පත්ව තිබේ. කෙසේ වුවත් මෙතෙක් තරගාවලියේ හොඳම ශුද්ධ ලකුණු වේගයට (1.156) හිමිකම් කියන්නේ මුම්බායි කණ්ඩායමය. 

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 13 ක් ලබා ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැදී සිටින අතර කොල්කටා නයිට් රයිඩර්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් පිළිවෙලින් ලකුණු 11 ක් සහ ලකුණු 10 ක් බැගින් ලබා පිළිවෙලින් ලකුණු සටහනේ හයවැනි සහ හත්වැනි ස්ථානවල පසුවෙයි. එහෙත් මෙම කණ්ඩාම් 7 ටම තවමත් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවතී.  

මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී ඇති සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් සහ කණ්ඩායම් පිළිවෙලින් ලකුණු 7 ක් සහ ලකුණු 6 ක් බැගින් ලබා අටවැනි සහ නමවැනි ස්ථානවල පසුවෙන අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 4 කට හිමිකම් කියමිනි. 

මුම්බායි කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් මේ වන විට තරග 12 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 510 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර ගුජරාට් කණ්ඩායමේ ප්‍රසිද් ක්‍රිෂ්ණා තරග 11 කදී කඩුලු 20 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ රැදී සිටියි. 


අදහස් (0)

ගුජරාට් ක්‍රීඩකයෝ යළිත් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.