Last Update  :  2025-07-27 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොරෝනා සුව වූූ චමීර දෙවැනි තරගයට සූදානම්
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා එක්දින තරගාවලිය

කොරෝනා සුව වූූ චමීර දෙවැනි තරගයට සූදානම්

editorial - 2022 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම වේග පන්දු යවන්නා බවට පත්ව සිටින දුෂ්මන්ත චමීර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (18 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි දිවා-රාතී‍්‍ර එක්දින තරගයේදී යළිත් තරග බිමට පිවිසීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා සිටි චමීරට පළමු එක්දින තරගයේදී විවේකයක් ලබාදෙමින් යොවුන් කී‍්‍රඩක චාමික ගුණසේකර එක්දින වරම් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගත්තේය. චමීරගේ ආදේෂකයා ලෙස කටයුතු කළ චාමික කළවේ ආබාධයක් හේතුවෙන් එක්  ඕවරයක් පමණක් යැවීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගිය අතර යළිත් පන්දු යැවීම සඳහා නොපැමිණියේය. 

චාමිකගේ ආබාධ තත්ත්වය සුව වීමට කෙතරම් කාලයක් ගත වේවිදැයි නිෂ්චිත වශයෙන් කිව නොහැකි බවත්, ඔහු සම්බන්ධයෙන් අවසන් තීරණය කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ගනු ඇති බවත් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැතුම් නිස්සංක කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පැතුම් මෙසේද පැවසීය. 

”ඔවුන් දෙදෙනා (වනිඳු සහ චමීර) නැති එක කණ්ඩායමට ගොඩක් පාඩුයි. ඔවුන් වෙනුවට ආදේශ කරන්න පුලූවන් තව පිරිසක් අපේ පුහුණුකරුවො හදලා තියෙනවා. ඉතින් අපි මේ තරගයේදි ඒ අයව යොදවලා බැලූවා මොකද වෙන්නෙ කියලා. මං හිතනවා ඒ ගොල්ලො හොඳට කළා කියලා. ඒ වගේම මං හිතනවා දුෂි අයියා (චමීර) ඊළඟ තරගයට කී‍්‍රඩා කරයි කියලා. මේ වෙනකොට එයා හොඳ සෞඛ්‍ය මට්ටමක ඉන්නවා.” යැයිද පැතුම් සඳහන් කළේය. 

ඉකුත් වසරේ (2021) පැවැති එක්දින තරගවලදී ලොව වැඩිම කඩුලූ ලාභියා බවට පත්වූ දුෂ්මන්ත චමීර තරග 14 කදී දවාගත් කඩුලූ සංඛ්‍යාව 20 කි. අයර්ලන්තයේ සිමී සිං තරග 13 කදී කඩුලූ 19 ක් දවාගනිමින් එහි දෙවැනි ස්ථානයට පත්වූ අතර නේපාලයේ සංදීප් ලැමචේන් තරග 6 කඩුලූ 18 ක්ද, බංග්ලාදේශයේ මුස්තෆිසුර් රහමන් තරග 10 කදී කඩුලූ 18 ක්ද දවාගනිමින් වසරේ වැඩිම එක්දින කඩුලූ ලාභීන් අතර තෙවැනි ස්ථානයට පත්වූහ. 

සිය 10 වැනි එක්දින තරගයේදී මංගල අර්ධ ශතකය ලබාගත් පැතුම් මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් තුනෙහිම ආරම්භක පිතිකරුවකු ලෙස ස්ථාවර වී සිටියි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගයේදී හතරේ පහර 10 ක් සමග පන්දු 71 කින් ඔහු ලබාගත් ලකුණු 75 තරගයේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් විය. 

”පළවෙනි අර්ධ ශතකය ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. දිගින් දිගටම තරගවලට කී‍්‍රඩා කරපු නිසා මම ලොකු ආත්ම විශ්වාසයකින් හිටියේ. තනතිල්ල පිතිකරුවන්ට හුගක් වාසි දායක වුණා. මං හිතනවා ඒක මට ලොකු උදව්වක් වුණා කියලා අර්ධ ශතකයක් ලබාගන්න. මගේ අරමුණ තමයි පිතිකරු ශේ‍්‍රණිගත කිරීම්වල ඉදිරියට එන්න එක. ඒ වෙනුවෙන් මම හුඟක් මහන්සි වෙනවා.” යැයි සිය ඉනිම සම්බන්ධයෙන් පැතුම් පැවසීය. 

පැතුම් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක්ද, චරිත් අසලංක (71) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 129 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් තරගයේ වීරයා බවට පත්වූ දිනේෂ් චන්දිමාල්ගෙන් (75) තමාට ලැබුණ සහයෝගය සම්බන්ධයෙන් පැතුම් මෙසේ කියා සිටියේය. 

”එතන ස්ථාවර වෙලා හිටපු පිතිකරුවා මම. චන්දි අයියා (චන්දිමාල්) ඒ වෙලාවේ ස්ථාවර වෙලා හිටියෙ නෑ. 290 ක් වගේ ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹායන කොට කවුරු හරි එක පැත්තකින් ගහන්න  ඕන. චන්දි අයියා අනිත් පැත්තෙ හිටපු නිසා මම බය නැතුව අවස්ථාව ලබාගෙන ලකුණු ගහන්න පටන් ගත්තා.” යැයි පැතුම් සඳහන් කළේය. 

තරගයේ වීරයා සම්මානය ලබාගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් චන්දිමාල් කියා සිටියේ තමාට තරගය අවසන් කිරීමට අවශ්‍යව තිබූ නමුත් එසේ කිරීමට නොහැකි වූ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිය කී‍්‍රඩා දිවිය තුළ කොපමණ ඉහළ නැගීම් සහ පහළ වැටීම් තිබුණද, ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබාගැනීමට තමා වෙහෙස මහන්සිවී කටයුතු කළ බවය. 

”පරණ චන්දි නැවතත් ඇවිල්ලා කියලා මට හිතෙනවා. මම ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වුණෙත් මේ විදියටම තමා. ඒත් අවුරුදු තුන හතරකට පස්සෙ මට මගේ රිද්මය අහිමි වුණා. දැන් අයෙමත් මම මගේ පරණ රිද්මයට ඇවිල්ලා තියෙනවා. නැවතත් ලකුණු අතරට පැමිණීමට ලැබීම ලොකු සතුටක්.” යැයිද චන්දිමාල් එහිදී පැවසීය. 


අදහස් (0)

කොරෝනා සුව වූූ චමීර දෙවැනි තරගයට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.