Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෝ කොමිස් මුදල ඉල්ලති

ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෝ කොමිස් මුදල ඉල්ලති

යොහාන් භාසුර - 2020 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියට සහභාගි වන දේශීය තරුණ ක්‍රීඩකයන්ගේ ඇතැම් කළමනාකරුවන් තරගාවලි ගාස්තුවෙන් 10% ක මුදලක් ලබාගැනීමට සූදානම් වන බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ. මෙම ඇතැම් කළමනාකරුවන් ජාතික මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් ද මෙම තරගාවලිය සඳහා සේවා ගාස්තුව ලබාගැනීමට සැළසුම් කරන බවද කියැවේ.  

මෙම තරගාවලියේදී එම තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණේ තම මැදිහත්වීමෙන් බව ඇතැම් කළමනාකරුවන් ක්‍රීඩකයන්ට මේ වන විටත් දැනුම්දී ඇති බව වාර්තා වේ.

එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩකයන් තෝරාගැනීමේ සිට නිල වශයෙන් වයස 19 න් පහළ ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළු තරුණ ක්‍රීඩකයන් 30 කට වැඩි සංඛ්‍යාවක් තරගාවලියට සහභාගි වීමට නියමිතය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වයස 19 න් පහළ ක්‍රීඩකයන් අට දෙනකු අතිරේකව තෝරාගෙන තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ද කළමනාකරුවන් ලෙසින් කටයුතු කරන ඇතැම් පුද්ගලයන් තරුණ ක්‍රීඩකයන් 10 කට වැඩි සංඛ්‍යාවක කළමනාකරු ලෙස කටයුතු කරන බව ද වාර්තා වේ.

එල්.පී.එල්. තරගාවලියේ ඇතැම් කණ්ඩායම්වලට ඊයේ (23) වන ඇතුළත්කර සිටි ඇතැම් දස්කම් නොදැක්වූ ක්‍රීඩකයන් දෙස බැලීමේදී කළමනාකරුවන් මේ වන විට ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මැදිහත්වීමක් තිබිය හැකි යයිද වාර්තා වේ.  එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති, මේ වන විට ශ්‍රී ලංකා පුහුණුකරුවන් කීපදෙනකුට චෝදනා එල්ලවී ඇති ටී10 තරගාවලියට ද ඇතැම් කළමනාකරුවන්ගේ මැදිහත්වීමෙන් ක්‍රීඩකයන් ඇතුළත් කළ බවට චෝදනා තිබේ.   

එල්.පී.එල්. තරගාවලියේදී ‘දේශීය රන් - ෂෂ ශ්‍රේණියේ ක්‍රීඩකයකුට ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 45 ද, දේශීය විශේෂ ශ්‍රේණියේ ක්‍රීඩකයකුට සහ දේශීය නැඟීඑන ක්‍රීඩකයකුට ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 27 බැගින්ද, දේශීය අතිරේක ක්‍රීඩකයකුට ඩොලර් 3000 බැගින් හෙවත් ලක්‍ෂ 5 කට අධික ද, ගෙවීමක්ද හිමිවේ. ඉහත සඳහන් දේශීය ක්‍රීඩකයන් ඇතුළත් පහළම කාණ්ඩ හතරට පමණක් තරුණ ක්‍රීඩකයෝ 30 කට ආසන්න සංඛාවක් ඇතුළත්ව සිටිති.

එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ රවීන් වික්‍රමරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තරගාවලියට ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් සමඟ කිසිඳු සම්බන්ධීකරණයක් නොකළ බවයි.

“ක්‍රීඩකයන් තෝරාගැනීමේ අවස්ථාවට ලැයිස්තුව හැදුවේ මෙහෙමයි”

“ජාතික කොන්ත්‍රාත්තුවේ ඉන්න ඇන්ජලෝ මැතිව්ස්ලා වගේ ක්‍රීඩකයෝ 28 යි. දේශීය කොන්ත්‍රාත්තුවේ ඉන්න 80 යි. ඊට පස්සේ අපි දැනුම් දුන්නා පළමු පෙළ ක්‍රීඩා සමාජ 25 ට ක්‍රීඩකයන් දෙන්නා බැගින් නම් කරන්න කියලා එකෙන් 52 ක් ලැබුණා”

“ඊට පසුව අපි උසස් දක්‍ෂතා සංවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්ට අපි ළඟ තිබුණ නම් දීලා කිව්වා ඒකෙ නැති හොඳ අය ඉන්නවානම් ඒ අයගේ නම් දෙන්න කියලා. එතනින් ක්‍රීඩකයන් 26 ක් විතර ලබුණා. ඒ ක්‍රීඩකයො තමයි අපි වෙන්දේසියට ඉදිරිපත් කළේ”

“ක්‍රීඩා ආම්පන්න ටිකක් දෙන්නම් කිව්වාම ඔය ක්‍රීඩකයො කළමනාකරු කියලා අත්සන් කරනවා. දැන් සල්ලි ඉල්ලන කොට තමයි ප්‍රශ්නේ” යැයි වික්‍රමරත්න මහතා වැඩි දුරටත් පැවසීය.  

කළමනාකරුවන්ට තමන් සමඟ ගිවිසුමට එළඹ සිටින ක්‍රීඩකයන්ගෙන් සේවා ගාස්තුවක් ලබාගත හැක්කේ ඔහුගේ මැදිහත් වීමෙන් ලබාදෙන සේවාවලට පමණි.  


අදහස් (0)

ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෝ කොමිස් මුදල ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.