Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාත්‍යන්තර අර්ධ මැරතන් තරග දෙකක්

ජාත්‍යන්තර අර්ධ මැරතන් තරග දෙකක්

editorial - 2021 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ශත සංවත්සරය නිමිත්තෙන් දකුණු ආසියානු රටවලට ආරාධනා කරමින් අර්ධ මැරතන් තරග දෙකක් (කාන්තා හා පිරිමි) පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ. මෙම මැරතන් තරග දෙකම ශත සංවත්සර දිනය යෙදී තිබෙන ලබන පෙබරවාරි 22 වැනිදා නුගේගොඩදී පැවැත්වේ.

මෙම තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් ලක්‍ෂයේ සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට තරග සංවිධායකයෝ අපේක්‍ෂා කරති.

කිලෝ මීටර 21 ක් දුරැති මෙම අර්ධ මැරතන් තරග දෙකම  එදින පෙරවරු 8.00 ට නුගේගොඩ නගරයෙන් ආරම්භ වී පන්නිපිටිය, බොරැල්ල පාර, තලවතුගොඩ, බත්තරමුල්ල, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ හරහා නැවැත නුගේගොඩ නගරයට ළඟාවීමෙන් අවසන් වේ.

අර්ධ මැරතන් තරග දෙකට සමගාමීව එදිනම ඇතුල්කෝට්ටේ සිට ජුබිලිකණුව දක්වා කිලෝමීටර පහක දුරකින් සමන්විත මාර්ග ධාවන තරගයක්ද පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන්නන් වෙතින් ලබන ජනවාරි 10 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ. එය නිමා කරන සියළු දෙනාට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයෙන් සහතික පත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

අර්ධ මැරතන් තරග  සඳහා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

ආසියාවේ දෙවැනි පැරණිතම ජාතික මලල ක්‍රීඩා සංගමය ලෙස සැළකෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනනය ලංකා මලල ක්‍රීඩා සංගමය නමින් වසර 1922 ජනවාරි 22 වැනිදා ස්ථාපිත කෙරුණි. පසුව එය ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය ලෙස හැඳින්විණි. එයම,  වසර 2002 දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය යනුවෙන් සංශෝධනය කෙරුණි.

අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය ‘‘වර්ල්ඩ් ඇත්ලැටික්’’ යනුවෙන් සිය නිල නාමය මෙම වසරේදී වෙනස් කළ ආකාරයට අනුගත වෙමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ද ‘‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’’ යනුවෙන් මේ වනවිට සිය නිල නාමය වෙනස් කර ඇත.

ආසියානු මලල ක්‍රීඩා පරිපාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් ලේකම් ප්‍රේමා පින්නවල මහතා පවසන්නේ ආසියාවේ පැරණිතම ජාතික මලල ක්‍රීඩා සංගමය වන්නේ චීන – තායිපේ ජාතික මලල ක්‍රීඩා සංගමය බවයි. එය 1846 දී ස්ථාපිත කර තිබෙන බවද වාර්තාවේ .

ශාරීරික යෝග්‍යතා ධාවනය ලෙස සංවිධානය කරන කිලෝ මීටර 5 ක් දුරැති මාර්ග ධාවන තරගය සඳහා සහභාගී වන්නන් සිය අයැදුම්පත් ජී.එල්.එස්. පෙරේරා මහතා, උප සභාපති, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා, නො. 33, නිදහස් චතුරස්‍රය, කොළඹ 7 යන ලිපිනයට යොමු කළ යුතුය. වයස 18 ට වැඩි පුරවැසියන්ට මෙම මාර්ග ධාවන තරගය විවෘතය.

 


අදහස් (0)

ජාත්‍යන්තර අර්ධ මැරතන් තරග දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.