Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඔලිම්පික් පරිසාධන මට්ටමත් අතළඟ

ඔලිම්පික් පරිසාධන මට්ටමත් අතළඟ

ශනුක අරවින්ද - 2016 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

SAAG-2016-KMDL-Logo

ඉන්දියාවේදී මේ මස 5 වැනිදා ආරම්භවන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පදක්කම් දිනා ගන්නවා වගේම ඔලිම්පික් පරිසාධක මට්ටමට ළගා වීමටද උත්සාහ කළ යුතු යැයි මලල ක‍්‍රීඩා ජාතික පුහුණුකරු ඩර්වින් පෙරේරා මහතා පැවසීය.

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් මාලඹේ රිජන්ට් කන්ටි‍්‍ර උත්සව ශාලාවේදී ඉරිදා (31 වැනිදා) සන්ධ්‍යාවේදී පැවැති විශේෂ උත්සවයකදී ඩර්වින් පෙරේරා මහතා මේ බව පැවසුවේය.

මෙම උත්සවය ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලදි.

”අපි දක්ෂතා මැන බැලීම සදහා වෙනම තරග ඉසව් පැවැත්වුවා. ඒවායේදී රිටි පැනීම (පිරිමි), හෙල්ල විසි කිරීම (කාන්තා) වගේම මීටර 100X4 වැනි ඉසව් කිහිපයකදීම අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විශේෂ දස්කම් දැක්වුවා”

3_ Susantika

”විශේෂයෙන් කිව යුතුම දේ තමයි උස පැනීමේ ඉසව්වේදී මංජුල කුමාර දක්ෂතා මැන බැලීමේ තරගයේදී ඔලිම්පික් පරිසාධක මට්ටම ආසන්නයට පැමිණීම. ඔහුට එම අවස්ථාව සපුරා ගැනීමට හැකියාව තිබුණත් මංජුලව තවත් වෙහෙසට පත් නොකිරීමට අප වගබලා ගත්තා යැයි” ඩර්වින් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසීය.

මලල කී‍්‍රඩා තරග පැවැත්වෙන සිලෝන් නගරයේ සීත දේශගුණයක් පැවැතියද එය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට එතරම් බලපෑමක් නොවනු ඇතැයි පෙරේරා මහතාගේ අදහසයි. දුර දිවීමේ ඉසව් සදහා නුවරඑළියේ ස්ථාන කිහිපයකදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුවීම්වල නිරතවී තිබේ.

මෙම දේශගුණික තත්ත්වය සලකා බලා මැලේසියාව හෝ තායිලන්තය වැනි රටවලට ගොස් පුහුණුවීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලබාදීමට සුදානම් වුව ද ලංකාවේදී පුහුණුවීම්වල නිරතවීම සුදුසු යැයි බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ අදහස වු බව කණ්ඩායමේ කළමනාකරු ලූතිනන් කර්නල් මංජුල පෙරේරා මහතා පැවසීය.

මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රීඩා උපකරණ ලබාගැනීමේ අවශ්‍යතා වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ 73 ක මුදලක් මලල ක‍්‍රීඩා සංගමයට පිරිනමා ඇතැයි ද මංජුල මහතා කීය.

කලාපීය ක‍්‍රීඩා උළෙලකට යාමට පෙර, මලල ක‍්‍රීඩා කණ්ඩායමක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය විසින් මෙවැනි උත්සවයක් සංවිධානය කරන ලද පළමු අවස්ථාවද මෙය වේ. මෙම අවස්ථාවට වත්මන් සහ හිටපු මලල ක‍්‍රීඩා නිලධාරීන් මෙන්ම ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහද සහභාගිවුවාය.

එම උත්සවයේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇමතූ සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා සිටියේ තමන් මවුබිමට ගෙන ආ කීර්තිය පරදවමින් සාග් රන් පදක්කමක් දිනා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ වරම් ද හිමිකර ගැනීමට සැමදෙනා සිතට ගන්නා ලෙස හැගීම්බර ලෙසින් අදහස් ප‍්‍රකාශ කළාය.

එම අවස්ථාව සෑම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවකටම තිබෙන බවත්, තමන්ගේ අධිෂ්ඨානය සහ තමන් එම ඉලක්කයට යනවා යන්න සිතේ තබාගෙන තරග ඉසව්වලට සහභාගිවන ලෙසත් ඇය පැවසුවාය.

තමන් ඔලිම්පික් පදක්කම දිනාගත් අවස්ථාවට පැමිණීමට පෙර පැවැති අවසන් පුර්ව තරගය තමන්ගේ තීරණාත්මක තරග ඉසව්ව වු බව ද සුසන්තිකා සිහිපත් කළාය. කුමන ක‍්‍රීඩා ඉසව්වකට සහභාගි වුවද විදේශයකදී අප ලබා ගන්නා ජයග‍්‍රහණය මවුබිමට කීර්තියක්ම වන බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

මෙම උත්සවයේදී සාග් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගිවන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ නිල ඇදුම් කට්ටලය සහ ජාතික ධජය මලල ක‍්‍රීඩා සංගමය විසින් පිරිනමන ලදී. මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් සදහා ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 69 දෙනෙක් සහභාගිවෙති.

මේ මස 5 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම මෙම 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව්වලට සහභාගිවේ. ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනයේ මැරතන් තරගය පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලූතිනන් කර්නල් මංජුල පෙරේරා මහතා විසින් ජාතික ධජය සාග් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නායක සහ සමස්ත කණ්ඩායමේ නායක මංජුල කුමාර වෙත නිල වශයෙන් පිරිනමන ලද අයුරු.

 

ddd

ඡායාරූප: සජීක ජයසිංහ

 


අදහස් (0)

ඔලිම්පික් පරිසාධන මට්ටමත් අතළඟ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.