Last Update  :  2026-03-13 19:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආරවුල් මැද ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභාව අද රැස්වෙයි

ආරවුල් මැද ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභාව අද රැස්වෙයි

editorial - 2026 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්විමක් හෙට (14) පස්වරු 4 ට එහි හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම විශේෂ මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රයේ විශේෂ තැනක් හිමිව තිබෙන්නේ කමිටුවේ එළඹෙන නිලවරණය (2026 - 30) කැදවීම සදහා දිනයක් තීන්දු කර ගැනීමයි.

ඒ සම්බන්ධයෙන් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි මහ ලේකම් රිෆ්ඩි ෆාමී යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි එදින කැදවීමට නියමිත න්‍යාය පත්‍රයට අනුව ඒ හැරෙන්නට වෙනත් ප්‍රධාන කරුණු කීපයක්ද එහි අන්තර්ගත කර තිබේ.

පසුගිය ජනවාරී 12 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව යොමු කළ ලිපිය සභාගත කිරීම,කමිටුවේ අනුබද්ධිත සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ප්‍රකාශයට පත් කිරීම, නිලවරණය කැදවීමට අදාළව ව්‍යවස්ථානූකූලව නිලවරණ මෙහෙයුම් කමිටුව නිර්දේශ කිරීමත් ඒ අතර වේ.

මේ අතර මෙම මහ සභා රැස්වීමට සහභාගි වීම තහනම් කර ඇති ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් තීරණය අද (13) පස්වරුවේදී කැදවා තිබූ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුවේදී ගැනීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ ලේකම් චන්දන ලියනගේ හා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ හිටපු ලේකම් කපිල ජීවන්ත යන මහත්වරුන්ට එරෙහිව ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට පටහැණි වන ආකාරයෙන් ආචාර ධර්ම කඩ කර ඇතැයි චෝදනා කරමින් ඔවුන්ට අද පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමට සහභාගි වීම වළක්වා තිබේ.

කෙසේවූවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා අවධාරණය කරන්නේ වාරණය ක්‍රියාත්මක වන්නේ ඔවුන් තිදෙනාට පමණක් බැවින් එකී ජාතික ක්‍රීඩා සංගම්හි නිර්දේශ කළ වෙනත් නියෝජිතයන් තිදෙනෙකුට අද පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමට සහභාගි වීමේ බාධාවක් නැති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජස්වර් උමාර් මහතා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුවත් කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යොමු කළ ලිපියට ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණි.

එහිදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ආසියානු ඔලිම්පික් සභාවද දැනුවත් කරමින් ජස්වර් උමාර් හා සුරේෂ් සුබ්‍රමනියම් යන මහත්වරුන්ට දැනුම්දී තිබුණේ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන එම අභ්‍යන්තර ගැටළුව ව්‍යවස්ථාවට අනුකූලව විසදා ගැනීම තමන් අගය කරන බවයි.

මේ අතර ජස්වර් උමාර් මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවැසුවේ තමන්ට අද පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමට සහභාගි වීමට ඉඩ නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෙසේවූවත් තමන්ට ඉඩ නොලැබුණත් හෙට පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමට පාපන්දු ආයතනය නියෝජනය කරමින් නියෝජිතයන් තිදෙනෙකු නම් කරන බව ඔහු පවසයි.අද විශේෂ මහ සභා රැස්වීම සදහා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගමයකට සිය නියෝජිතයන් තිදෙනෙකු බැගින් සහභාගි කිරීමේ අවස්ථාව සැළසී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාවේ නිල කාලය (2021 - 25) පසුගිය 2025 දෙසැම්බර් 27 වැනිදා නිල වශයෙන් අවසන් විය.


අදහස් (0)

ආරවුල් මැද ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභාව අද රැස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.