Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව 2023 World Cup ලෝක ශූර කණ්ඩායමක් වසරකින් දෙකකින් ගොඩනැඟෙන්නේ නෑ

ලෝක ශූර කණ්ඩායමක් වසරකින් දෙකකින් ගොඩනැඟෙන්නේ නෑ

editorial - 2023 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ශානුක අරවින්ද පූනේ නුවර සිට..)

ලෝක ශුර කණ්ඩායමක් වසරකින් හෝ දෙකකින් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා අවම වශයෙන් වසර 4 ක් හෝ 5 ක් ගතවන බවත් ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි. ඔහු ඒ බව කියා සිටියේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර යුනිසෙෆ් සංවිධානය විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇති ‘ළමුන් වෙනුවෙන් දිනක්’ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදීය.

“දක්ෂ කණ්ඩායමක් ගොඩනැඟෙන්න නම් අපි ක්‍රීඩකයන්ව ගොඩනඟන්න ඕන. ඒක අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ. ඒකට අවුරුදු 4 ක් 5 ක් වගේ ලොකු කාලයක් යනවා. ඒත් කියන්න කණගාටුයි,  අවාසනාවකට වගේ ශ්‍රී ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වෙලා තියෙන තත්වෙට ‍ප්‍රධානම හේතුව ඒකයි.”

“ක්‍රීඩකයෙක් හොඳට ක්‍රීඩා කළොත් ඔහු කණ්ඩායමේ ඉන්නවා. ඒත් ඔහු තරගයක් දෙදකක් අසාර්ථක වුණ ගමන් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරලා වෙනත් ක්‍රීඩකයෙක් අදේශ කරනවා. ඒත් හරි නම් අපි කළ යුතුව තිබුණෙ ඔහු තුළ විශ්වාසයක් ගොඩනඟන එක තරගයක් දෙකක් අසාර්ථක වුණ ගමන් කණ්ඩායමෙන් ඉවත් කරන්නෙ නෑ කියලා. නැත්නම් ඒ  ක්‍රීඩකයා ලොකු පීඩනයකින් ක්‍රීඩා කරන්නෙ.” යැයි මුරලිදරන් මහතා පැවසීය.

එහිදී 2019 ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගත් අවිෂ්ක ප්‍රනාන්දු පිළිබඳව සඳහන් කරමින් මුරලි කියා සිටියේ එවන් පිතිකරුවකු මේ වන විට සංචිතයේ පවා නොසිටීම කණගාටුවට කරුණක් බවය. ‍ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් පිලට ‍එරෙහිව එම ශතකය ලබාගන්නා විට අවිෂ්ක 21 වැනි වි‍යේ පසුවිය.

“දැන් බලන්න ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු. එයා 2019 ලෝක කුසලාන තරගාවලියෙදි ශතකයක් ලබාගත්තා. එ්ත් එයා මේ තරගාවලියෙ නැහැ. ඒ කියන්නෙ අපි ඔහුව ගොඩනඟලා නෑ කියන එක. එයාට දක්ෂතාව තියනවා කියලා අපි දන්නව නම් අපි එයාව ආරක්ෂා කරන්න ඕන. හැමෝටම අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා.”

“මහේල ජයවර්ධන 2003 ලෝක කුසලාන තරගාවලියෙ ඉනිම් 8 කදී ලබාගත්තේ ලකුණු 20 ක් විතරයි. ඒත් අපි එයාව කණ්ඩායමෙන් ඉවත් කළාද. අවසානයේ ඔහු පුරාවෘත්තයක් බවට පත්වුණා. ඒ නිසා මම කියන්නේ අපි ක්‍රීඩකයන්ට අවස්ථාව දෙනවා වගේම ඔවුන්ව ආරක්ෂා කරන්නත් ඕන කියලයි. එතකොට තමයි ඔවුන්ට ගොඩනැඟෙන්න හැකියාව ලැබෙන්නෙ.” යැයි මුරලි කියා සිටියේය.

1989 සහ 1990 යන වසරවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් සනත් ජයසූරිය සහ ‍රො‍මේෂ් කළුවිතාරණ ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනගන්නේ 1996 ලෝක කුසලාන‍ තරගාවලියේ මුල් ඕවරවලදී වේගයෙන් ලකුණු රැස්කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම හේතුවෙනි. එහි තවත් ප්‍රතිඵලයක් ලෙස ජයසූරිය එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.

“සනත් සහ කළු මුලින්ම කණ්ඩායමට ආවේ 1989 - 90 වගේ කාලවල. ඒත් ඒගොල්ලො උප‍රිම දස්කම් අතරට ආවේ 1996 - 97 වගේ කාලෙදි. අවුරුදු 7 ක් යනකං අර්ජුන ඔවුන්ව සංචිතයෙ තියාගත්තා. ඒ නිසා මම නැවතත් කියන්නෙ අපි ක්‍රීඩකයන්ව ‍ගොඩනැගිය යුතුයි. එතකොට තමයි දක්ෂ කණ්ඩායමක් ගොඩනැගෙන්නනෙ. අර්ජුනගේ ඒ ඉවසීම නිසා අවුරුදු 20 ක කාලය ඇතුළත විශිෂ්ඨ ක්‍රීඩකයන් රැසකගේ සේවය ශ්‍රී ලංකාවට ලැබුණා.”

“ඒත් දැන් වෙන්නෙ එකේ අනිත් පැත්ත. දැන් අපි උත්සාහ කරන්න කොහොමහරි එන එන තරගාවලිය දිනාගන්න විතරයි. ඒකට හිතුමතේ ක්‍රීඩකයන් වෙනස් කරනවා. මේ විදියට ගියාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳවැටෙනවා. කණ්ඩායමට එන හැම ක්‍රීඩකයකම ඉන්නෙ ලොකු පීඩනයකින්. එතකොට එයාලට දස්කම් අතරට එන්න අපහසුයි. ඒක කණ්ඩායමට තදින්ම බලපානවා. ඉතින් අසාර්ථක වුණාම අපිට ක්‍රීඩකයන්ට බනින්න බෑ.”

“ඔවුන් හුඟක් උත්සාහ කරනවා, මහන්සි වෙනවා. අනිත් පැත්තෙන් අපිටත් වගකීමක් තියෙනවා  අසාර්ථක වුණ පලියට ඔවුන්ට කණ්ඩායමෙන් ඉවත් කරන්නෙ නෑ කියන විශ්වාසය ඔවුන් තුළ ගොඩනඟන්න. එතකොට තමයි ඔවුන්ට පීඩනයක් නැතිව ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න. එහෙම ක්‍රීඩා කළාම තමයි තරග ජයගන්න අවස්ථාව ලැබෙන්නෙ. ඒත් කණගාටුවට වගේ අපි නොකරන දේත් ඒකමයි” යැයිද මුරලි සඳහන් කළේය.


අදහස් (0)

ලෝක ශූර කණ්ඩායමක් වසරකින් දෙකකින් ගොඩනැඟෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.