Last Update  :  2024-05-01 16:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව 2022 Asian Games රග්බි පිලේ අන්ත පරාජයට වගකියන්නේ කවුද?
ආසියානු ක්‍රීඩා

රග්බි පිලේ අන්ත පරාජයට වගකියන්නේ කවුද?

editorial - 2023 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පිට පිටම ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී ආසියාවේ සිවුවැනි ස්ථානයට හිමිකම් කියා සිටි ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට, මෙවර චීනයේ හංජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළේලේදී කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරින් 10 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තහනම් පනවා ඇති අවධියක ආසියානු ඔලිම්පික් ධජය යටතේ මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකාවට එහිදී පරාජය කිරීමට හැකි වූයේ ඇෆ්ඝනිස්ථානය, පිලිපීනය සහ නේපාලය පමණි. 

කණ්ඩායම් 13 ක සහභාගීත්වයෙන් පැවැති එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට හොං කොං කණ්ඩායම සමත් වූ අතර රිදී පදක්කම කොරියාවටත්, ලෝකඩ පදක්කම ජපානයටත් හිමිවිය. 2014 සහ 2018 වසරවලදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලහිදී රග්බි ඉසව්වෙන් ඉහත සඳහන් රටවලට පමණක් පසුපසින් සිටි ශ්‍රී ලංකාව මේ වන විට ඇද වැටී ඇති තැනට වගකියන්නේ කවුදැයි යන්න සොයා බැලිය යුතු කරුණක් බවට පත්ව තිබේ. 

ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද පරාජයේ වගකීම භාර ගැනීම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් බලධාරීන්ගේ දේශපාලකයන්ගේ ගැටුම්වලට මැදි වී වසරකට වැඩි කාලයක් පුරා තැලී පොඩිවී සිටි ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් කෙටි කාලීන පුහුණුවකින් පසුව ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමද එක් ආකාරයක ජයග්‍රහණයකි. එහිදී ඔවුන්ගේ දක්ෂතා සැලකියුතු මට්ටමක නොතිබීම කණගාටුවට කරුණක් වුවද, මෙම තරගාවලියේදී ඔවුන්ට නිදහස් නිවහල් මානසිකත්වයකින් යුතුව ක්‍රීඩාවේ නියැලීමට අවශ්‍ය වටපිටාව තිබුණාද යන්න ගැටලු සහගතය. 

රග්බි ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ල වන්නේ අද ඊයේ සිට නොවුණත් එය ඉහවහ යන්නේ ඉකුත් වසරේ (2022) අප්‍රේල් මස 1 වැනිදාය. ඒ එවකට පැවැති රග්බි සංගමය තාවකාලිකව අත්හිටුවමින් එහි බලතල හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාට පැවරීමට හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පියවර ගැනීමත් සමගය. රග්බි සංගමය අත්හිටුවීමට හේතුව කුමක්දැයි අමාත්‍යවරයාගේ ගැසට් පත්‍රයේ සඳහන් නොවූ නමුත් ඔහුගේ අභිමතය පරිදි රග්බි සංගමයේ නිලධාරීන් හැසිරවීමට නොහැකි වීම ඊට හේතුවන්නට ඇතැයි රග්බි ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල විය. 

ඊට සමගාමීව අප්‍රේල් මස 12 වැනිදා ආසියානු රග්බි සංගමයද ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ අතර මැයි මස 1 වැනිදා එය එම අත්හිටුවීම ස්ථිර කළේය. 

මැයි මස 23 වැනිදා ක්‍රීඩා අමාත්‍ය ධූරය සඳහා අලුතින් පත්වූ රොෂාන් රණසිංහ මහතාද, නාමල් රාජපක්ෂ මහතාගේ අඩි පාරේම යමින් දිගින් දිගටම රග්බි සංගමය සමග ගැටුම් ඇති කරගත් අතර එම ගැටුම් අධිකරණය දක්වා යෑමටද වැඩි කලක් නොගියේය. එහි තවත් ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු අදියර ශ්‍රී ලංකාවට අහිමිවූ අතර දෙවැනි සහ තෙවැනි අදියර සඳහා ජාතික ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමටද සිදුවිය. 

එහි දෙවැනි අදියරට සහභාගි වූ කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 5 දෙනෙක් විනය ගැටලු හේතුවෙන් තෙවැනි අදියරට එක් කර නොගැනීමට රග්බි සංගමය කටයුතු කළද, මහනුවර ප්‍රදේශයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ මැදිහත් වීමෙන් ඔවුන් තෙවැනි අදියර සඳහාද කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට සිදුවූ බව හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා කියා සිටියේය. එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ වත්මන් ක්‍රීඩා ඇමතිවරයා වටා සිටින උපදේශකයන් ඔහුව නොමඟ යැවීමට උත්සාහ දරන බවත්, ඉන් මෙරට රග්බි ක්‍රීඩාවට සිදුවන හානිය සුළුපටු නොවන බවත්ය. 

ඉන් අනතුරුව මෙම වසරේ (2023) අප්‍රේල් මස 3 වැනිදා රග්බි සංගමය තාවකාලිකව අත්හිටුවමින් නාමල් රාජපක්ෂ මහතා නිකුත් කර තිබූ ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බවට රොෂාන් රණසිංහ මහතා පියවර ගැනීමත් සමග රග්බි සංගමය යලිත් බලාත්මක විය. එහෙත් ඉන් දින 9 කට පසුව එනම් අප්‍රේල් මස 12 වැනිදා යළිත් තමාට පැවරී ඇති බලතල උපයෝගී කරගමින් අමාත්‍යවරයා රග්බි සංගමය විසුරුවා හැර එහි පාලන කටයුතු මෙහෙයවීම සඳහා ස්ථාවරකරණ කමිටුවක් පිහිටුවීය. ඒ සමගම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමට ආසියානු රග්බි සංගමයද කටයුතු කළේය. 

කෙසේ වුවත් මෙටර රග්බි පාලන තන්ත්‍රය ලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පිළිගන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ස්ථාවරකරණ කමිටුව නොව, නියම ආකාරයට තේරී පත්වූ ශ්‍රී ලංකා රග්බි සංගමය බවට ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා මැයි මස 8 වැනිදා ලෝක රග්බි සම්මේලන වෙත ලිපියක් යොමු කළේය. මෙම සියලු සිදුවීම් ඉතා සූක්ෂම අයුරින් අධීක්ෂණය කළ ලෝක රග්බි සම්මේලනය, දේශපාලන බලපෑම් එල්ල වීම හේතුවෙන් මැයි මස 17 වැනිදා ශ්‍රී ලංකාව සිය සම්මේලනයේ සාමාජිකත්වයෙන් ඉවත් කළේය. එම තීරණය අනුගමනය කරමින් ආසියානු රග්බි සංගමයද යළිත් වරක් ශ්‍රී ලංකාවට තහනමක් පැනවීය. 

කෙසේ වුවත් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර රග්බි තහනම පිළිබඳව යළි සලකා බලන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලෝක රග්බි සම්මේලනයෙන් කරනු ලැබූ ඇති ඉල්ලීමකට අනුව දේශපාලන බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලෝක රග්බි සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ජූලි මස 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. කෙසේ වුවත් එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළ එම නියෝජිත පිරිස, රග්බි සංගමයේ නිලධාරීන් හමුනොවීම දිවයිනෙන් පිටත්ව යාම හොරාගේ අම්මාගෙන්ම පේන අහනවා වැනිය. 

ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය අතර පැවැති ගෝරනාඩුවට අධිකරණට විසඳුම් සොයමින් සිටියදී ජාතික මට්ටමේ රග්බි ක්‍රීඩකයන්ට තරග නොමැතිව අසරණ වී බලා සිටීමට සිදුවූහ. ශ්‍රී ලංකාවට රග්බි තහනම පැනවීමට හේතුව රග්බි සංගමයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා බවට අමාත්‍යවරයා දිගින් දිගටම හංවඩුගසද්දී, පියවරක් පසුපසට තැබූ ඉල්ලියාස් මහතා අගෝස්තු මස 11 වැනිදා සභාපති සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. 

එහෙත් ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුවද තහනම ඉවත් නොවීය. මෙම ගැටුම්වල තවත් තවත් ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු මස 22 වැනිදා ප්‍රකාශයට පත්කල හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි ඉසව්වේ කාල සටහනෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබිණ. එම කාල සටහනට අනුව ශ්‍රී ලංකාවේ ස්ථානය ලබා දී තිබුනේ නේපාලයටය. 

කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඉකුත් වසරේ (2022) ආසියානු රග්බි ශූරතාවලියේදී තරග වැදුණු අයුරින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලටද ඔලිම්පික් කමිටු ධජය යටතේ එක්වීමට අවස්ථාව උදා විය. එවර ශ්‍රී ලංකාව තරග වැදුණේ ශ්‍රී ලංකා ඔලිම්පික් ධජය යටතේ වුවද, මෙවර ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදුවූයේ ආසියානු ඔලිම්පික් ධජය යටතේ වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. එවන් තත්ත්වයක් මත චීනයේදී යළිත් තරග බිමට අවතීර්ණ වෙමින් සිය මවුබිමට කීර්තියක් ලබාදීමට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් ගනු ලැබූ උත්සාහය අගය කළ යුතුය. 

අවසානයේ ගැසට් පත්‍රයකින් පත්කළ රග්බි ස්ථාවරකරණ කමිටුව අගෝස්තු මස 25 වැනිදා නිකුත් කළ තවත් ගැසට් පත්‍රයකින් අවලංගු කිරීමටද ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේය. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි සංගමය යළිත් වරක් බලාත්මක විය. දැන් ගැටලුවලට මුල යැයි ක්‍රීඩා අමාත්‍යවරයා හංවඩුගැසූ රිස්වි ඉල්ලියාස් මහතා සභාපති ධූරයේ නැත. සංගමයේ පාලනය බාරදීම සඳහා අමාත්‍යවරයා පත්කළ ස්ථාවරකරණ කමිටුවද ඔහු විසින්ම විසිරුවාහැර ඇත. එහෙත් මේ සියල්ල අවසානයේ ජාත්‍යන්තර තහනම ඉවත්ව නැත. කණගාටුවකට මෙන් ඉදිරියේදී තහනම ඉවත්කරවා ගැනීම සඳහා පැහැදිලි සැලැස්මක්ද දක්නට නැත. 

 

 

(ඡායාරූප - ජාතික ඔලිම්පික් කමිටුව අනුග්‍රහයෙනි)

 


අදහස් (0)

රග්බි පිලේ අන්ත පරාජයට වගකියන්නේ කවුද?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.