Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සංවිධායකයෝ හොරාගේ අම්මාගෙන් පේන අසති
නරියාකන්ද සුපර් ක්‍රොස්

සංවිධායකයෝ හොරාගේ අම්මාගෙන් පේන අසති

editorial - 2024 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පුද්ගලයන් 7 දෙනෙකුට ජීවිත අහිමිකරමින් සහ තවත් 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කරමින් නිමාවට පත්වූ නරියා කන්ද සුපර් ක්‍රොස් මාරක අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එහි සංවිධායකයන්ටම කමිටු පත් කිරීම ‘හොරාගේ අම්මාගෙන් පේන අහනවා’ යන කියමන සිහිපත් කරන්නක් බව මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසති. 

ඊට හේතුවෙ ලෙස ඔවුන් සඳහන් කරන්නේ මේ වන විට අදාල සිදුවීමට වැරදිකරුවන් ලෙස වැඩි වශයෙන්ම චෝදනා එල්ල වෙමින් තිබෙන්නේ තරගාවලියේ සංවිධායකයන්ට වීමය. දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය විසිනි. 

මේ වන විට අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මේජර් ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ඔවුන්ගේ නිවේදනයක සඳහන් වේ.  

තරගාවලියේ සංවිධානය කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයට අයත් අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 10 ම දායකත්වය ලබාදෙන බව එහි නිලධාරීන් තරගාවලියට පෙර කියා සිටියද, අනතුරෙන් පසුව ඇතැම් අනු සංගම් සහ ක්‍රීඩා සමාජ තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසා සිටියි. 

ඒ අනුව බලන කළ මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීම සිදුව ඇත්තේ ‘ආඬි හත්දෙනාගේ කැඳහැළියක’ ආකාරයට බව පෙනී යයි. මෙරට ප්‍රවීනතම සහ අත්දැකීම් බහුලතම මෝටර් රථ තරග අධ්‍යක්ෂවරු කිසිවකු මෙම තරගාවලිය සඳහා සම්බන්ධකර ගෙන නොතිබීම සම්බන්ධයෙන්ද සංවිධායකයන්ට බරපතල චෝදනා එල්ල වී තිබීම ඊට කදිම නිදසුන් සපයයි.  

අනතුරෙන් පසුව තරගාවලිය නවතා දැමීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණද, ‘ෆොක්ස් හිල් ජර්නි’ නමින් එදින රාත්‍රියේ පැවැති ඩී.ජේ. සංගීත සංදර්ශනය අවලංගු කිරීමට කිසිවකු ඉදිරිපත් වී නොතිබීම පිළිබඳවද විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. එවන් ඛේදවාඡකයක් සිදුවී පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් නටමින් විනෝද වීමට තරම් වාතාවරණයක් සැකසුනේ කාගේ උවමනාවටද යන්නද බොහෝ දෙනා විමසන කරුණක් බවට පත්ව තිබේ. 

එම සංදර්ශනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තරගාවලියේ සංවිධායකයන් කියා සිටියද, සත්‍ය වශයෙන්ම ඊට ඔවුන්ගේ සම්බන්ධයක් නොතිබුණා නම් ‘ෆොක්ස් හිල්’ යන නාමය අවභාවිතා කරමින් එවන් සංදර්ශනයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ට එරෙහිව ඔවුන් නිතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේද අනිවාර්යෙන්ම යන්න සොයා බැලිය යුතුය. 

‘ෆොක්ස් හිල්’ වැනි සන්නාම නාමයක් එහි හිමිකරුවන්ට හැර වෙනත් පාර්ශවයකට අවශ්‍ය පරිදි රිසි ලෙස භාවිතා කළ හැකි දැයි බොහෝ දෙනකුට ගැටලුවක් මතුව තිබේ. එලෙස භාවිතා කළ පුද්ගලයන්ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට සන්නාම නාමයේ හිමිකරුවන් පසුබට වන්නේ නම්, හිමිකරුවන් සහ නාමය භාවිතා කළ පාර්ශවය අතර කුමන ආකාරයක හෝ ගිවිසුමක් ඇත්දැයි යන්න පිළිබඳව ඕනෑම අයකුට සාධාරණ සැකයක් පහළවනු ඇත.

මෙවන් මාරක අනතුරක් සිදුවී සතියක් ගතවන තුරුම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හෝ ඒ සඳහා කමිටුවක් පත්කිරීමට මෙරට ක්‍රීඩා මහ ගෙදර ලෙස සැලකෙන ක්‍රීඩා අමාත්‍යංශ අපොහොසත්වී තිබීමද විමතිය ගෙන දෙන්නක් බව මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් නැගෙන තවත් චෝදනාවකි. මෙවන් සිදුවීමක් වූ සැණින් ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශ්‍ය බැඳී සිටියද, මේ දක්වා ඔවුන් මුණිවත රැකීම කාගේත් කතා බහට ලක්ව තිබේ. 

විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට දඬුවම් පැණවීමට ක්‍රීඩා අමාතංශය පසුබට වන්නේ මෙය පරීක්ෂණයක් පැවැත්වීමට තරම් අවශ්‍ය සිදුවීමක් ලෙස ඔවුන් නොදකින නිසාද, නැතහොත් පරීක්ෂණයක් පැවැත්වීම නවතාලීම සඳහා යම් දේශපාලනික මැදිහත්වීමක් සිදුව ඇති නිසාද යන්න පිළිබඳවද මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ මත පළවෙමින් තිබේ. 


අදහස් (0)

සංවිධායකයෝ හොරාගේ අම්මාගෙන් පේන අසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.