Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 එංගලන්තයට කඩුලු 9 ක පහසු ජයක්

එංගලන්තයට කඩුලු 9 ක පහසු ජයක්

editorial - 2019 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අටවැනි පෙරහුරු තරගය ලෙස එංගලන්තය සහ ඇෆ්ඝනිස්තානය අතර අද (27 වැනිදා) ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 17.3 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ආරම්භක පිතිකරු ජේසන් රෝයි (89) සහ ජෝ රූට් (29) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. එහිදී පන්දු 46 කට මුහුණදුන් රෝයි හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සිය වේගවත් අර්ධ ශතකය සැරසූ අතර පන්දු 37 කදී වාර්තා වූ රූට්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

එංගලන්ත කණ්ඩායමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 39 ක් රැස්කළ අතර ඔහු දැවී ගියේ මොහොමඞ් නබීගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රාමට් ෂාගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි. ජේසන් රෝයි සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බෙයාස්ට්‍රෝ සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ඕවර 38.4 අවසානයේ ලකුණු 160 කට සීමා කිරීමට ජෙෆ්රා ආචර් සහ ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රූට් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, ආචර් ලකුණු 32 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ඇෆ්ඝනිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමූහ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඞ් නබී පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු නූර් අලී සද්රාන් පන්දු 34 කදී ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් දවුලත් සද්රාන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කළේය.


ඇෆ්ඝනිස්තාන - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 160
(නූර් අලී සද්රාන් 30, හෂ්මතුල්ලා ශහිදි 19, ගුලාබ්දීන් නබී 14, මොහොමඞ් නබී 44, දවුලත් සද්රාන් නොදැවී 20, ජොෆ්රා ආචර් 32/3, ජෝ රූට් 22/3)

එංගලන්තය - ඕවර 17.3 කදී කඩුල්ලක් දැවී 161
(ජේසන් රෝයි නොදැවී 89, ජොනී බෙයාස්ට්‍රෝ 39, ජෝ රූට් නොදැවී 29)


-036

 


අදහස් (0)

එංගලන්තයට කඩුලු 9 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.