Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙට තරගය තීරණාත්මකයි - මැතිව්ස්

හෙට තරගය තීරණාත්මකයි - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්තානයට එරෙහිව හෙට (17) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා පිලේ ආසියානු කුසලාන තරගාවලියේ පැවැත්ම තීරණය කරන තරගය බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු තරගයේ පරාජයෙන් පසුව පැවසීය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩුබායිහිදී අද (15) පැවැති පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පිල ලකුණු 137 ක දැවැන්ත පරාජයක් ලැබීය.

එහිදී මැතිව්ස් වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය අනිවාර්යෙන්ම අපිට පීඩනයක් වෙනවා. අපිට එක විකල්පයයි තියෙන්නේ ඒ ජය ලැබීමයි. එම තරගය අපි තරගාවලියේ රැදීසිටීම සහ ඉවතට විසිවීම තීරණය කරන තරගයක්”

“එක දවසක් හොඳ දවසක් වෙන්න පු`ඵවන්. තවත් දවසක් ඉතාමත් දුර්වල දවසක් වෙන්න පුඵවන්. තරගාවලිය ආරම්භයේදී මම කිව්වේ එක තරගයක් පරාජය වුණෙත් පීඩනය එනවා කියලා. මේ තරගය ජය ගෙන තරගාවලියේ සජීවිව ඉන්න තමයි අපි බලාපොරොත්තු වුණේ නමුත් එය කරන්න බැරි වුණා”

“අපි හැකි ඉක්මනින් සකස් විය යුතුයි. එක පුහුණු සැසියකින් පසුව අබුඩාබිවලට යනවා. එදිනම තරගයට සහභාගි වෙනවා. නමුත් අපි අද තරගයේදී අතපසුවීම් ගොඩක් හඳුනා ගත්තා. ඒවා හදාගෙන ඉදිරියට යනවා”
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අබුඩාබි, ශීක් ශයිඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය අබුඩාබි වේලාවෙන් පස්වරු 3.30 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමියත.

ශ්‍රී ලංකා පිල ඩුබායිහි අයි.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රීඩාංගණයේ අද (16) පස්වරුවේ පුහුණු සැසියකට සහභාගි වී හෙට පෙරවරුවේ අබුඩාබි බලා පිටත්ව යෑමට නියමිතය.

පෞද්ගලික හේතුවක් මත සංචිතයට එකතු නොවූ පිට දඟ පන්දු යවන අකිල ධනංජය අද පෙරවරුවේ ඩුබායිහිදී සංචිතයට එකතු වූ අතර අකිල හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.   

බංග්ලාදේශ හමුවේ පරාජයට හේතුව මැතිව්ස් මෙසේ පැහැදිළි කළේය.

“අපේ පන්දුවට පහරදීම දුර්වල වුණා. මෙම තණතීරුවේ ලකුණු 262 ක් කියන්නේ ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක්. තණතීරුව ඉතාමත්ම හොඳ එකක්. නමුත් අපි වැරදි පහරවලට ගියා”
“අවාසනාවකට පිතිකරුවෝ දුර්වල පහර තෝරාගත්තා”

“ලසිත් මාලිංග විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නා. ලකුණු තුනකට කඩුලු තුනක් ලබාගත්තා. ඉන් පසුව තීරණාත්මක උඩපන්දු කීපයක් අතහැරියා. ලසිත්ගේ පන්දු යැවීම අගය කළ යුතුයි”

එහිදී තුවාල ලැබූ ටමීම් ඉක්බාල් තනි අතින් පන්දුවට පහරදීම පිළිබඳව මැතිව්ස් මෙසේ පැවසීය.

“ටමීම් එවැනි තුවාලයක් ලබා සිටියදී පන්දුවට පහර දුන්නේ ඔහු සතු විශාල ආත්මශක්තියක් තියෙන නිසයි. ඔහු පන්දුවට පහරදීමට පැමිණිමෙන් ලකුණු 30 ක් විතර ලැබුණා. ඒ වගේම මුෂි (මුෂ්ෆිකුර් රහීම්) විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා’‘

ශ්‍රී ලංකා පිලේ සංයුතිය වෙනස් කිරීම පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

“අපි දකුණු අප්‍රිකානු සංචාරයේ සිට අතිරේක පිතිකරු සමඟ ක්‍රීඩා කළා. නමුත් මෙහිදී ධනුෂ්ක සහ චන්දිමාල් ආබාධයන්ට ලක්වීමෙන් අපිට අහිමි වුණා. තුන් ඉරියව් ක්‍රීඩකකු යොදා ගත්තා. ඒ වගේම අංක අට ස්ථානයේ ඩිල්රුවන්ටත් ලකුණු රැස්කරන්න පුඵවන්. නමුත් ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වුණාම පිතිකරු ලැයිස්තුව වැටුණා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

හෙට තරගය තීරණාත්මකයි - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.