Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ සිව්වැනි ජයත් ලබති

මහනුවර ක්‍රීඩකයෝ සිව්වැනි ජයත් ලබති

යොහාන් භාසුර - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සති අන්තයේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 34-13 කින් සත්කාරක පොලිස් පිල පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මහනුවර පිල ලබාගත්තේ මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ සිවුවැනි ජයයි.

පළමු තරග තුනේදී ජයග්‍රහණ දෙකක් ලබමින් පෙරළිකරුවන් බවට පත්ව සිටි පොලිස් පිල ලැබූ මෙම පරාජයත් සමඟ ගොඩනැගී තිබුණු කීර්තිනාමයට යම් තරමක බලපෑමක් ඇති විය.

මහනුවර ක්‍රීඩකයෝ ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කිරීමට සමත් වූහ. පොලිස් පිලට උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-3 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.  

මහනුවර පිලේ ලසිත අත්තෙගොඩ පස්වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර තරින්ද රත්වත්තේ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් ලකුණු පුවරුව 7-0 ක් බවට පත්කළේය.

පොලිස් පිල වෙනුවෙන් 14 වැනි මිනිත්තුවේදී යොහාන් පීරිස් සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු පුවරුව 7-3 ක් බවට පත්විය. තරින්ද රත්වත්තේ 20 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් මහනුවර ලකුණු සංඛ්‍යාව 10 ක් බවට ඉහළට දැමීය.

නයිජල් රත්වත්තේ 25 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමට තරින්ද රත්වත්තේ අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 17-3 ක් බවට පත්ව මහනුවර පිල තව දුරටත් ශක්තිමත් විය.

දෙවැනි අර්ධය ආරම්භයේදීම රසිත් සිල්වා, පොලිස් පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 17-8 ක් බවට පරිවර්ථනය විය. ඉන් අනතුරුව මිනිත්තු 10 ක් තුළ මහනුවර පිලේ දිලුක්‍ෂ දංගේ සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක සමඟ පොලිස් පිලෙන් බලාපොරොත්තු මෑත්විය. එම උත්සාහක දිනුම් දෙකත් සමඟ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 27 ක් බවට පත්විය.

පොලිස් පිලට 70 වැනි මිනිත්තුවේදී සුරංග කසුන් දෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 27-13 ක් බවට පත්විය.

බුද්ධිම ප්‍රියරත්න 72 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කරමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුම තරින්ද රත්වත්තේ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ අවසන් ලකුණු සටහන 34-13 ක් බවට පත්විය.   

 

ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ සිව්වැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.