Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් සහ දේශපාලනයේ නොබිඳෙන අත්වැල

ක්‍රිකට් සහ දේශපාලනයේ නොබිඳෙන අත්වැල

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති වීමත් සමගින් දකුණු ආසියානුවන්ගේ ආකල්ප වෙනස් වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබේ. සැම විට සාධාරණ යයි සැලකෙන ක්‍රීඩා පිටියට ආසක්ත වූවෝ වඩාත් හොඳ නායකයන් වශයෙන් ක්‍රිකට් තරු දෙස දෑස් යොමු කරති.

මේ තත්ත්වය ශ්‍රී ලංකාවටද පොදු වී තිබේ. මේ වන විට තමන් මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න වාතාවරණයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෝත් ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් දෙස බලන්නට පටන්ගෙන තිබේ. වර්තමානයේ සමාජ ජාල ප්‍රතිචාර දෙස බලද්දී ඒ සඳහා ඉදිරියෙන්ම සිටින්නේ අන් කවරකු හෝ නොව කුමාර් සංගක්කාර බව පෙනේ.

ඔවුන්ගේ (පොදු මහජනයාගේ) දෘෂ්ටිකෝණයෙන් බලන කල්හි ‘ඇත්ත කතා කිරීම’ සම්බන්ධයෙන් ‘සංගාට’ විශාල කීර්තිනාමයක් තිබේ. ඔහුට 2020 දී ජනාධිපතිවරයා වීමේ විශාල අවස්ථාවක්ද තිබේ. ඇතැම් අය (සමාජ ජාල භාවිතා කරන්නන්) සංගාගේ නායකත්වය යටතේ ‘සිහින කණ්ඩායමක්ද’ හදා ගත්හ. එහෙත් එය එක්දින හෝ ටෙස්ට් තරග සඳහා යොදාගන්නා කණ්ඩායමක් නම් නොවේ. සංගාගේ නායකත්වයෙන් යුත් කැබිනට් ඇමතිවරුන්ගෙන් සමන්විත කණ්ඩායමකි.

කෙසේ වෙතත් සංගක්කාර ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහයට එක්වේ යයි අපේක්‍ෂා කළ අයගේ බලාපොරොත්තු වැඩි කලක් පැවතුනේ නැත. මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන එංගලන්ත - ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කරන කුමාර් සංගක්කාර පසුගිය 12 වැනිදා නිකුත් කළ නිවේදනයත් සමගින් ඔවුහු සියලු දෙනාම අපේක්‍ෂා භංගත්වයට පත්වූහ.

දේශපාලන ප්‍රවාහයට සංගක්කාර ආගමනය විය යුතු යයි ඔවුන් අදහස් කළේ සංගාගේ සුවිශේෂී ප්‍රකාශයක් හේතු පාදක කරගනිමිනි. මැයි 18 වැනිදා යුද්ධයේදී මිය ගිය විරුවන් සැමරීමේ උත්සවය වෙනුවෙන් කුමාර සංගක්කර සුවිශේෂී ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.

“යුද්ධයේදී අහිමි වූ සියලු ජීවිත සම්බන්ධයෙන් සිහිපත් කිරීම සඳහා ගරු ගාම්භීර අවලෝකනයක යෙදීම සඳහා වන දිනයකි...පූර්ව විනිශ්චයකින් තොරව, තවත් අයකුගේ වේදනාව අපට දැනෙන පරිදි, අපගේ හදවත් විවර කළ හැකිනම්.....එකිනෙකාට එසේ විවර කළ හදවතින් යුතුව සිටිය හැකි නම් (ඒ අභාග්‍ය සම්පන්න) ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය නොවනු ඇත” යයි සංගක්කාර තැබූ ට්විටර් පණිවුඩය විය. පොදු ජනතාව බලාපොරොත්තු වූයේ එවැනි නායකයෙකි.

සාමාන්‍යයෙන් දෙපිට කැපෙන වචන නොකියන සංගක්කාර, පසුගිය 12 වැනිදා සිය මුහුණු පොතේ, ඉතාම පැහැදිළි ලෙසින් තවත් සටහනක් තැබීය.

“මම දේශපාලනයට පිවිසෙන බවටත් 2020 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වන බවටත් විවිධ පුවත් හා වාර්තා පළ වී තිබෙනවා. මා ඒ සියල්ල දැඩි සැළකිල්ලකින් යුතුව කියෙව්වා”

“මහජනතාව මෙන්ම මාධ්‍යය ද ඒ සම්බන්ධයෙන විවිධ අදහස් උදහස් පළ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබුණා. ඇතැම් පිරිස් මා දේශපාලනයට සුදුස්සෙකු බවත් ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම පුද්ගලයා බවත් සඳහන් කර තිබුණා. ඇතැම් පිරිස් මගේ චරිතය සහ විශ්වාසනීයත්වය ප්‍රශ්න කර තිබුණා. විවිධත්වයකින් යුතු ඒ සියලු අදහස් උදහස් මා අගය කරනවා”

“ඒත් සියලු කටකතා, වාර්තා හා පුවත්වලට තිත තැබීමට කාලය එළැඹ ඇතැයි මා සිතනවා. ඒ නිසා මා නැවතත් ස්ථීර වශයෙන් කියා සිටිනවා. දේශපාලනයට පැමිණීමට මට කිසිදු අවශ්‍යතාවක් හෝ වුවමනාවක් නැහැ. ඒ ගැන මගේ අපේක්ෂාවක් හෝ බලාපොරොත්තුවක් ද නැහැ. මා දේශපලානයට සම්බන්ධ වී නැහැ. ඉදිරියේදී සම්බන්ධ වෙන්නෙත් නැහැ. මම එය දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා. එය ස්ථීරයි”

“දේශපාලනය සහ මහජන සේවය ඉතා වගකීමෙන් කර යුතු භාරදූර රාජකාරීයක්. මහජන වගකීම් හා යුතුකම්, මහජන සේවය සෑමවිටම මහජනතාවගේ විශ්වාසය මෙන්ම වගවීම සහ විශ්වාසනීයත්වය හා බැඳී තිබෙනවා. ඡන්දයකින් තේරී පත්වූ හෝ පත්කළ සියලු රාජ්‍ය සේවකයන් කෙරෙහි මා තුළ විශාල ගෞරවයක් තිබෙනවා.
“ඔවුන් සියලු දෙනා යහපත් සහ ගෞරවනීය අරමුණක් ඇතිව ක්ෂේත්‍රයට පැමිණි අය. ඔවුන් සියලු දෙනාම රටේ යහපත උදෙසා කැප වී සිටිනවා.”
යන්න සංගක්කාර සිය මුහුණු පොතේ තැබූ සටහන විය.

සංගක්කාර ජනාධිපති අපේක්‍ෂකයකු වීමේ උද්යෝගය පැවැතියේ සුළු කාලයක් වන්නට පිළිවන. එහෙත් එයින් අවධානය යොමුවූයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලනය අතර පවතින අඛණ්ඩ සම්බන්ධතාව කෙරෙහිය.


1996 ලෝක කුසලාන ජයග්‍රහණය
අතීතයේදී වුවද එය නෙත නොගැටී ගියා නොවේ. එහෙත් ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණයත් සමගින් ඒ පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිවිය. අර්ජුන රණතුංග වර්තමාන රජයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමතිවරයාය. එහෙත් ඊට පෙර ඔහු 1996 ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකාවට රැගෙන ආ අනභිබවනීය නායකයාය.

රණතුංග නම් දේශපාලනඥයාට ඡන්ද ලබාගැනීම සම්බන්ධයෙන් වසර 15 ක පමණ අත්දැකීම් තිබුණද ඔහු ජාතික තලයේ දේශපලනය සම්බන්ධයෙන් උනන්දු වූවෙක් නොවේ. එසේ තිබියදීත්, රණතුංග මහතා මේ දිනවල දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු දේම (දූෂණයේ සිට තරග පාවාදීම දක්වා) දේශපාලනීකරණය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන්ගේ අදහස් විමසීමේදී ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලන අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවක් බවයි. මුල් කාලයේදී එය කිසියම් ප්‍රතිඵලදායක ආකාරයකින් පැවැතියේය.

1982 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලබාගැනීමේ පුරෝගාමී මෙහෙවරක් කළේ එවකට හිටපු මහවැලි ඇමතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාය. පසුව ටිරෝන් ප්‍රනාන්දු (විදේශ කටයුතු හිටපු ඇමති) මහතා ඊට දායක වූයේ 1987 දී පුපුරා ගිය පිටකොටුව බෝම්බයෙන් පසු වසර පහක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ ටෙස්ට් සහ එක්දින තරග සඳහා 1992 දී ඕස්ටේ්‍රලියානු පිල ශ්‍රී  ලංකාවට කැඳවාගෙන ඒමෙනි. දකුණු අප්‍රිකානු කණ්ඩායම වර්ණභේදවාදී ප්‍රතිපත්ති ඉවත දැවීමෙන් වසරක් යාමටත් මත්තෙන් ඔවුන් ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමටද ටිරෝන් ප්‍රනාන්දු මහතාට හැකිවිය.

එසේ වුවත් කල්යාමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ලවූ දේශපාලන බලපෑම් නිසා ඉතාමත් විනාශකාරී තත්ත්වයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබේ.

“ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනය තරම් හානිකර දෙයක් තවත් නෑ” යයි සුප්‍රකට ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා වාර්තාකරු ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු මහතා ද හින්දු පුවත්පතට පැවසීය.
ඇන්ඩෲ ප්‍රනාන්දු මහතාගේ අදහස අනුව ක්‍රිකට් සහ දේශපාලනය යන දෙකෙහිම නිරත වූවන් කියන්නේ එකම කතාවකි. එනම් තමන්ගේ දේශපාලන බලපුළුවන්කාරකම් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යොදවන බවයි. එහෙත් මේ අය ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ දේශපාලනික අරමුණු ඉටුකරගැනීම සඳහාම භාවිතා කරති.

“ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත් එකම ක්‍රීඩාව සමග ඇලී ගැලී සිටීමෙන් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගත හැකිය යන්න ඔවන්ගේ හැඟීමයි” යයිද ඇන්ඩෲ ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ප්‍රවණතාව ආරම්භ වූයේ 1996 න් පසුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන චන්ද්‍රා ෂාෆ්ටර් මහතා කියයි. මේ වන විට විශ්‍රාමිකව පසුවන චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් මෙන්ම හොකී ක්‍රීඩාවේද නිරත වූ ද්විත්ව ශ්‍රී ලංකා වර්ණලාභියකු වන අතරම හිටපු සමාගම් අධ්‍යක්‍ෂවරයෙකි.

මේ තත්ත්වය ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය එහි තුන්වැනි අදියරට පිවිසීමත් සමගිනි. ඒ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර යුද්ධය එහි උච්චතම අවස්ථාවට පත්ව තිබිණ. ඒ වන විට එක් සඟරාවක කතුවැකියේ සටහන් වූයේ දේශය විනාශය කරා ඇදී යමින් පවතින තත්ත්වයකදී අභිමානය රැකගත හැක්කේ ලෝකය ජයගැනීමෙන් බවයි. අනුව 1996 ජයග්‍රහණයෙන් පසුව පැවැති ආකර්ශනය සහ මූල්‍ය ප්‍රතිලාභ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල වෙනසක් ඇතිවූ බව ෂාෆ්ටර් මහතාගේද අදහසයි.

“දේශපාලන අරමුණක් සහිත ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඒ වන විට පැවැති ජනප්‍රියත්වය මත, තම තමන්ගේ දේශපාලන පදනම හදාගන්න එක සාමාන්‍ය තත්ත්වයක් වුණා....ඔවුන් දේශපාලන පිටියට බැස්සේ පැරෂූටයෙන්” යයිද ෂාෆ්ටර් මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය පැවැති සමයේදී අර්ජුන රණතුංග මෙන්ම සනත් ජයසූරියද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූහ.

ඉතාම පැහැදිළිව පෙනෙන්නට තිබෙන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ගේ දේශපාලනික අරමුණ මස්තකප්‍රාප්ත කරගැනීම සඳහා උපකාරී වී තිබේ. එහෙත් ඔවුන් පාර්ලිමේන්තුවට යාමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කිසියම් යහපතක් සිදුවී තිබේද ?

ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ගෑවී තිබීම හේතුවෙන් ඇතැම් වාසි සහගත තත්ත්වයන් නිර්මාණය වී ඇතැයිද ඇන්ඩෲ ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය අනුව ඕනෑම ජාතික කණ්ඩායමක් පිටියට පිවිසීමට පෙර ඒ වන විට බලයේ සිටින ක්‍රීඩා ඇමතිවරයාගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතුය. මෙම නීතිය අවභාවිත කෙරෙන අවස්ථාද තිබේ.

දේශපාලනඥයන් විසින් දේශපාලන හේතු මත ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීම සහ ඉවත් කිරීම කෙරෙන අවස්ථාද තිබේ.

“කොහොම වුණත් දේශපාලනය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳක් කරනවාට වඩා නරකක් කරන දෙයක්” යයි ඇන්ඩෲ ප්‍රනාන්දු මහතා ද හින්දු පුවත්පතට වැඩිදුරටත් කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ වන විට පවතින්නේ ක්‍රීඩා ඇමතිවරයා යටතේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පසුගිය මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබුණද ක්‍රිකට් නිලවරණ කමිටුව නීත්‍යානුකූල නොවන බව පවසා ක්‍රීඩා ඇමතිවරයා විසින් නිලවරණය කල්දමන ලදි. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ‘නිසි බලධාරියා’ ලෙසින් සිය අමාත්‍යංශ ලේකම්වරයා වන කමල් පද්මසිරි මහතාව පත්කළ ක්‍රීඩා ඇමති ෆයසිර් මුත්තාපා මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ මස 28 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් හමුවීමටද සූදානම් වෙයි.

සියල්ල එසේ සිදුවෙමින් තිබියදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ශ්‍රී  ලංකාවේ පැවැති තරගාවලියේ ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් ක්‍රීඩා ඇමතිවරයා විසින් අත්පත් කරගත් බවටද දිගින් දිගටම චෝදනා එල්ල වෙයි.

“ක්‍රිකට් තරගය නැරඹීමට ක්‍රීඩා ඇමතිගේ ආධාරකරුවන්ට ටිකට් 800ක් ලබාදීලා - පා.ම ෂෙහාන් සේමසිංහගෙන් චෝදනා ” යයි පසුගිය සිකුරාදා ‘අද’ පුවත්පත වාර්තා කළේය.

“ආර්. ප්‍රේමදාස පිටියේ පැවති එක්දින තරග සහ අවසන් විස්සයි විස්ස තරගය නැරඹීම සඳහා මෙසේ ටිකට් පත් ලබා දී  තිබෙන බව ඔහු කීය. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී උදව් ලබාගැනීම සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ ආධාරකරුවන්ට මෙසේ ටිකට්පත් නිකුත්කර තිබෙන බවත්, මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 40 ක පාඩුවක් සිදුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙය රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමක් බැවින් රජය වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවද සේමසිංහ මහතා පවසා සිටියේය” යයි එම වාර්තාවෙන් කියැවේ.

මේ අතර මෙවර දකුණු අප්‍රිකානු තරගාවලියේදී මුද්‍රණය කෙරුණු ප්‍රවේශපත් සංඛ්‍යාව, ඒවා බෙදී ගිය ආකාරය, විකිණීමෙන් ලද ආදායම ආදී තොරතුරු රැසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා (ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී) වන කමල් පද්මසිරි මහතාගෙන් ඉල්ලා සිටීමට හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ඉදිරිපත්ව සිටින බවද වාර්තා වේ.


‘ද හින්දු’ ඇසුරිනි
සැකසුම - දමින්ද විජේසූරිය

 


අදහස් (0)

ක්‍රිකට් සහ දේශපාලනයේ නොබිඳෙන අත්වැල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.