Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන් බණ්ඩාරත් පදක්කම් ලයිස්තුවට

ඉෂාන් බණ්ඩාරත් පදක්කම් ලයිස්තුවට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ්කෝස්ට නුවරදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුවට ඇතුළත් වීමට කිලෝ ග්‍රෑම් 52 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ ඉෂාන් බණ්ඩාර අද (11 වැනිදා) සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලෙසොතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆි පරාජය කරමින් එම බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බණ්ඩාර සමත් වීමත් සමග ශ්‍රී ලංකාවේ පදක්කම් ගොන්නට තවත් පදක්කමක් එක්විය.

අනිද්දා (13 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ ගෞරව් සොලංකිට එරෙහිව බණ්ඩාර තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ජයගැනීමට සමත් වුවහොත් බණ්ඩාරට රන් හෝ රිදී පදක්කමක් කරා යෑමට අවස්ථාව හිමිවන අතර පරාජය වුවහොත් ඔහුට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.

බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 45-48 (කාන්තා) බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු අද (11 වැනිදා) සමත් වූවාය.

පළමු අවසන් පූර්ව තරගයේදී ඔලිම්පික් ලෝකඩ පදක්ම්ලාභී ඉන්දීයාවේ මේරි කොම් හමුවේ පරාජයට පත්වීම නිසා අනූෂාට එම බර පංතියේ ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය. අනූෂාට එරෙහිව පැවැති තරගයේදී විනිසුරුවන් 5 දෙනාගේම වැඩි ලකුණු ලබාගැනීමට මේරි කොම් සමත් වූවාය.

ඊයේ පැවැති කිලෝ ග්‍රෑම් 51 (කාන්තා) බර පංතියේ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දුලානි ජයසිංහ එහිදී කෙන්යාවේ ක්‍රිස්ටීන් ඔන්ගාරේ හමුවේ පරාජයට පත් වූවාය. එම තරගයේ පළමු වටය ජයගැනීමට දුලානි සමත් වුවද, දෙවැනි වටයේදී කෙන්යානු ක්‍රීඩිකාවගේ පහරදීම හමුවේ ඇය ආබාධයකට ලක්වූවාය. ඒ හේතුවෙන් දෙවැනි වටය අතරතුර එම තරගය නතර කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

හෙල්ල විසිකිරීමේ (කාන්තා) ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ එම ඉසව්වේ 5 වැනි ස්ථානයට පත් වූවාය. තෙවැනි උත්සාහයේදී දිල්හානි හෙල්ල විසිකළ මීටර 56.02 ක දුර, මෙම තරගාවලියේදී ඇය දැක්වූ ඉහළම දක්ෂතාවය බවට පත්විය. එහිදී ඇයගේ උත්සාහයන් හය සටහන් වූයේ පිළිවෙලින් මීටර් 51.13 ක්, 53.58 ක්, 56.02 ක්, 53.73 ක්, 49.55 ක් සහ 53.82 ක් ලෙසිනි.

උස පැනීමේ (පිරිමි) ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ මංජුල කුමාරගේ උත්සාහයන් තුනම ආසාර්ථක වීම නිසා තරගයෙන් ඉවත් වීමට සිදුවිය. මූලික වටයේදී මීටර් 2.21 ක උසක් පනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් මංජුල, අවසන් මහ තරගයේදී මීටර 2.18 කඩයිම පසුකර යෑම සඳහා දැරූ උත්සාහයන් තුනම අසාර්ථක විය.

දුර පැනීමේ (කාන්තා) ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජානක විමලසිරි එහි 7 වැනි ස්ථානයට පත්විය. සිය තෙවැනි උත්සාහයේදී වාර්තා කළ මීටර 7.89 ක දුර ජානකගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන් විය. එහිදී ඔහු දැරූ උත්සාහයන් 6 න් 3 ක්ම අසාර්ථක වූ අතර සෙසු උත්සාහයන් තුනේදී මීටර් 7.52 ක, 7.82 ක සහ 7.50 ක දුර පැනීමට ජානක සමත් විය.

කාන්තා මීටර් 200 දිවීමේ ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක, ඊයේ එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට අපොහොසත් වූවාය. පළමු අවසන් පූර්ව තරගයේදී තත්පර 23.60 ක කාලයක් වාර්තා කළ රුමේෂිකාට හිමි වූයේ එම තරගයේ 6 වැනි ස්ථානයයි.

වෙඩි තැබීමේ ඉසව්වේ මීටර් 10 පිස්තෝල (පිරිමි) මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුරංග ප්‍රනාන්දු සහ උපුල් විජේරත්න එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීටම අපොහොසත් වූහ. ලකුණු 509 ක් ලබාගත් සුරංග මූලික වටයේ 16 වැනි ස්ථානයට පත්වූ අතර ලකුණු 508 ක් ලබාගත් උපුල්ට හිමිවූයේ එහි 18 වැනි ස්ථානයයි.  

දියට පැනීම සඳහා යොදාගන්නා දුනු පුවරුව ඉසව්වේ (මීටර් 1 පැනීමේ පුවරුව) මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සහන් පීරිස්ටද එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. ලකුණු 181.25 ක් ලබාගත් සහන් මූලික වටයේ 15 වැනි ස්ථානයට පත්විය.


- 036

 


අදහස් (0)

ඉෂාන් බණ්ඩාරත් පදක්කම් ලයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.