Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ක්‍රිකට් සැණකෙළිය 15 දා ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සැණකෙළිය 15 දා ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වඩාත් වැදගත් සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයෝ ඒ බව කිසිඳු පැකිලීමකින් තොරව ආවර්ජනය කරති.

ශ්‍රී ලංකාවට 1996 වසරේ ‘විල්ස්’ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දක්වා ඒමට ආසියානු කුසලාන තරගාවලි ශ්‍රී ලංකාවට මහත් පිටිවහලක් විය. එම ලෝක කුසලාන තරගාවලිය දකුණු අසියාව කේන්ද්‍රකරගනිමින් පැවැති අතර එහිදී ආසියාවෙන් පිට රටවල්වලට එරෙහිව ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාවට ආසියානු කුසලානවලින් ලද අත්දැකීම් වාසියක් බවට පත්විය.

අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා යන ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන්ට මෙන්ම පසු කාලයේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන්ට ලෝක ක්‍රිකට් පිටිය ආක්‍රමණය කිරීමට ‘ආසියානු කුසලාන’ ක්‍රිකට් තරගාවලිය මඟ සැකසූ බව නොරහසකි.

ආසියානු කුසලාන ක්‍රිකට් වංශ කථාවේ 14 වැනි අදියර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවරදී මේ මස 15 වැනිදා ආරම්භ වේ.

ආසියානු ක්‍රිකට් සමුළුව 1983 වසරේ ආරම්භ කිරීමෙන් පසුව 1984 වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා නුවරදී පළමු ආසියානු කුසලාන තරගාවලිය පැවැත්විණි. එක්දින ක්‍රිකට් තරග ලෙස එසේ නැතිනම් ඉනිමක් ඕවර 50 යේ තරගයක් ලෙස මෙම තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සමුළුවේ බලාපොරොත්තු විය.

තරගාවලිය වර්තමානයට ගැලපෙන ආකාරයට 2015 වසරේ සිට එක්දින සහ විස්සයි20 තරගාවලියක් ලෙස මාරුවෙන් මාරුවට පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සමුළුව තීරණය කළේය. ඒ අනුව පසුගිය 2016 තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැති අතර නැවත 2020 තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වේ.  
දේශපාලනය ඇතුළු විවිධ හේතූන් මත මෙම තරගාවලිය ඇතැම් වර්ෂවල පැවැත්වීමට නොහැකි විය. ඉන්දියාව 1986 ශ්‍රී ලංකාවේදී පැවැති දෙවැනි ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්ව සිටියේය.

පාකිස්තානය දේශපාලන හේතූන් මත 1990-91 තරගාවලිය වර්ධනය කළ අතර ඉන්දියාව සහ පාකිස්තනය අතර දේශපාලන අර්බුදය හේතුවෙන් 1993 තරගාවලිය අවලංගු කළේය.   

වර්ෂ 1984 වන විට ලෝක ක්‍රිකට් පිටියේ පතාක යෝධයන් දෙපළක් වන ඉන්දියාව සහ පාකිස්තානය මෙම තරගාවලියට සහභාගි වීම නිසා සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය මෙම තරගාවලියට යොමු විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව 1984 වසරේ පළමු තරගාවලියේදීම අනු ශූරයන් බවට පත්වීමත් සමඟ ආසියානු කුසලාන තරගාවලිය වඩාත් උණුසුම් විය.

පළමු තරගාවලියේ ශූරතාව සඳහා අවසන් තරග තුනක් ඇතුළත්ව සිටි අතර තරග දෙකක් ජය ලැබූ ඉන්දියාවට ශූරතාව හිමිවිය.

 දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 1986 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය පරාජය කරමින් ශූරයන් බවට පත්විය. අර්ජුන රණතුංග එම තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාවේදී 1997 වසරේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් නැවතත් ආසියානු ක්‍රිකට් කිරුළ හිමිකරගත්තේය. ශ්‍රී ලංකාව ඉන් පසුව 2004 වසරේ ශ්‍රී ලංකාවේදී මාවන් අතපත්තුගේ නායකත්වයෙන් ද, 2008 වසරේ පාකිස්තානයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ද, අවසන් වරට 2014 වසරේ බංග්ලාදේශයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ද, ආසියානු කුසලාන දිනාගත්තේය.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවස්ථා 13 දී ශූරතා පහට අමතරව අනුශූරතා හයක් ද හිමිකරගෙන තිබේ. ශ්‍රී ලංකාව 1984 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා සහභාගි වී ඇති ආසියානු කුසලාන තරගාවලි 13 දී සාර්ථකත්වය 68.62 කි.

ආසියානු ක්‍රිකට් රජු වන ඉන්දියාව හයවරක් ශූරතාව දිනාගෙන ඇති අතර ඉන්දියාවේ සාර්ථකත්වය 65.95% කි.
ආසියානු කුසලාන සාර්ථකත්ව ලෙස බැලීමේදී ශ්‍රී ලංකාව, පාකිස්තානයට වඩා ඉදිරියෙන් සිටියි. පාකිස්තානය අවස්ථා දෙකකදී ශූරතාව දිනාගෙන ඇති අතර ඔවුන්ගේ සාර්ථකත්වය 60.46% කි.

ආසියානු කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දස්කම් තවමත් ඉදිරියෙන්  තිබේ. ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ බැබලුණු චරිතයකි.

සනත් ජයසූරිය ආසියානු කුසලාන තරග 25 කදී ලකුණු 1220 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ජයසූරිය 2008 වසරේ පාකිස්තානයේදී පැවැති තරගාවලියේදී ලකුණු 378 ක් රැස්කරමින් එක තරගාවලියේදී වැඩිම ලකුණු වාර්තාවට ද හිමිකම් කියයි.

ජයසූරිය ශතක හයක් රැස්කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා බවට ද තවමත් රැදී සිටියි.

ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් තරග 24 කී කඩුලු 30 ක් දවාගනිමින් ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉහළතම කඩුලු ළාබියා බවට පත්ව සිටියි.

පිට දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් තරග 8 කදී කඩුලු 26 ක් දවා ගනිමින් කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව කථා කිරීමේදී අජන්ත මෙන්ඩිස් අමතක කළ නොහැකි ක්‍රීඩකයෙකි. කරච්චිහිදී 2008 වසරේ ජූලි මස 6 වැනිදා පැවැති අවසන් මහ තරගයේදී අජන්ත මෙන්ඩිස් විශ්මිත පන්දු යැවීමක නිතර වෙමින් ඉන්දීය පිතිකරුවන් අසරණ කළ ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ තවමත් රැදී තිබෙනවාට සැක නැත.

ඉන්දීය පිල ලකුණු 274 ක ඉලක්කයක් හඹායමින් පළමු ඕවර නවයේදී ලකුණු 76 ක් රැස්කර සිටියදී විරේන්ද්‍ර සෙවැග් අන්දමන්ද කරමින් දවාගත් අජන්ත එහිදී ලකුණු 13 කට කඩුලු හයක් දවාගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 100 ක පහසු ජයක් කරා රැගෙන ගියේය.

අජන්තගේ එම පන්දු යැවීම තවමත් ආසියානු කුසලාන තරගයක ඉනිමක දක්‍ෂතම පන්දු යැවීම වේ.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉන්දියාව සත්කාරත්වයෙන් ඉවත්වීම නිසා ඩුබායි සහ අබුඩාබි ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සමුළුව තීරණය කළේය.

මෙවර තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා කරයි. ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං යන රටවල් ‘ඒ’ කාණ්ඩයේ තරග වදියි.

පළමු වටයේ තරග අවසානයේ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අතර ලීග් තරගාවලියක් පැවැත්වෙන අතර එහිදී වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය වර්තමානයේ ප්‍රබල තත්ත්වයක පසුවීම නිසා මෙවර ආසියානු කුසලාන තරගාවලිය වඩාත් උණුසුම් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

 ඉන්දීය පිලට ප්‍රබල පිතිකරු නායක විරාට් කෝලි ඇතුළත්ව නොසිටිය ද සෙසු සියලුම ප්‍රබලයෝ ඇතුළත්ව සිටීම සෙසු සියලුම කණ්ඩායම්වලට අභියෝගයක් වනවාට සැක නැත.  

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස මේ මස 15 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු වටයේ දෙවැනි සහ අවසන් තරගය ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 17 වැනිදා පැවැත්වීමට නියමිතය.

අවසන් මහ තරගය මේ මස 28 වැනිදා ඩුබායිදී පැවැත්වීමට නියමිතය.

ඡායාරූප - ළහිරු හර්ෂණ


ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග
අතිරේක ක්‍රීඩකයෝ: ෂෙහාන් මධුසංඛ, නුවන් ප්‍රදීප්, ලක්‍ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල


ඉන්දීය සංචිතය:
රෝහිත් ශර්මා (නායක), ශීකර් ධවාන්, කලීල් අහමඞ්, ජස්ප්‍රිට් බුම්රා, යුෂ්වේන්ද්‍ර චාහල්, මහේන්ද්‍ර සිං දෝනි, කීදර් ජධාව්, දිනේෂ් කාර්තික්, කුල්දීප් යාදේව්, බුවනේෂ්වර් කුමාර්, මනීෂ් පාණ්ඬේ, හර්ද්‍රික් පාණ්ඩියා, අක්ෂර් පටෙල්, ලෝකේෂ් රාහුල්, අම්බාටි රයිදු, ශර්දුල් ඨාකූර්


පාකිස්තානු සංචිතය:
සෆ්රාස් අහ්මඞ් (නායක), ෆක්හාර් ෂමාන්, ඉමාම් උල් හක්, ෂාන් මෂූඞ්, බබාර් අෂාම්, ෂොයිබ් මලික්, හාරිස් සොහයිල්, අසීෆ් අලී, මොහොමඞ් නවාෂ්, ෆාහීම් අෂ්රෆ්, ශදාබ් ඛාන්, මොහොමඞ් අමීර්, හසන් අලී, ජුනයිඞ් ඛාන්, උස්මාන් ඛාන්, ශාහින් අෆ්රිඩි


බංග්ලාදේශ සංචිතය:
මෂ්රාෆි මොර්ටාෂා (නායක), ශකීබ් අල් හසන්, අබු හීඩර්, අරිෆුල් හක්, ලින්ටන් දාස්, මහුමුදුල්ලා රියාඞ්, මෙහෙදි හසන්, මොහොමඞ් මිතුන්, මොසදික් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මුස්ටෆිෂුර් රහීම්, නෂ්මුල් හොසේන් ශන්ටො, නෂ්මුල් ස්ලාම්, රුබෙල් හුසේන්, තමීම් ඉක්බාල්


ඇෆ්ගනිස්තානු සංචිතය:
අස්ගර් ඇෆ්ගන් (නායක), අෆ්ටාබ් අලාම්, ගුල්බඩීන් නයිබ්, හෂ්මටුල්ලා ශහිඩි, ඉහසනුල්ලා, ජාවිඞ් අහමඩි, මොහොමඞ් නබී, මොහොමඞ් ශෂාඞ්, මුජීබ් යූර් රහමන්, මුනීර් අහමඞ්, නජිබුල්ලා ශද්‍රාන්, රහ්මට් ෂා, රෂීඞ් ඛාන්, සමියුල්ලා ශින්වාරි, සයිඞ් ශිර්ෂාඞ්

හොංකොං සංචිතය මේ දක්වා නම් කර නැත

 

සටහන - යොහාන් භාසුර


අදහස් (0)

ආසියානු ක්‍රිකට් සැණකෙළිය 15 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.