Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක

ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක

Nisanka Sandeepani - 2018 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ එස්.එස්.සී. පිටියේදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය පරාජය වී සිටින අතරම මෙම තරගයත් පරාජය වුවහොත් එය එංගලන්ත කණ්ඩායමක් හමුවේ මුහුණ දෙන පළමු වැනි 3-0 ක ටෙස්ට් තරගාවලි පරාජය වෙයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් ඉතිහාසය වසර 36 ක් දක්වා ඈතට දිවයන්නකි.

දෙවැනි ඉනිමේදී ලකුණු 230 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමට ලකුණු 96 ක මුල් ඉනිමේ වාසියක් තිබිණ.

එබැවින් තරගයෙන් ජයගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 327 ක් ලබාගන්නා ලෙස  ශ්‍රී ලංකා පිලට අභියෝග කෙරිණ. එහෙත් තරගයේ තුන්වනි දිනය වන අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා සිටියේ කඩුලු 4 ක් දැවී ලකුණු 53 ක් පමණි.

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් කිසිම ආකාරයේ ප්‍රතිරෝධයක් එංගලන්ත පන්දු යවන්නන්ට එල්ල නොවූ අතර දෙවැනි ඉනිමේ 35 වැනි ලකුණු ලබාගැනීමටත් පෙරම මුල් ඉනිමේදී ලකුණු 142 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ.

ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ දිනයේ ක්‍රීඩාව නතර කිරීමට විනාඩි 5 කට කලිනි.

අද පෙරවරුවේ පළමු හෝරාව නිමාවීමටත් මත්තෙන් කඩුලු 4 ක් දවාගනිමින් බලාපොරොත්තු දල්වාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු අපේක්‍ෂාවෝ ලක්ෂාන් සඳකැන්ගේ නිපන්දු දෙකක් නිසා බිම වැටී සී සී කඩව ගියේය. සඳකැන්ගේ නිපන්දු දෙකකින් වාසනාව ලද බෙන් ස්ටෝක්ස් (42) සහ ජොස් බට්ලර් (64) දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක්කළ අතර ජොස් බට්ලර් සහ මොයින් අලි දෙදෙනා අතර හයවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 40 කි.

එංගලන්ත කණ්ඩායම ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 03 ක් ලබා සිටියේය. එහෙත් අද දිනයේ යැවූ පළමු පන්දුවෙන්ම කීටන් ජෙනිංග්ස්ගේ ඉනිම හමාර කළ ඩිල්රුවන් පෙරේරා තවත් ඕවර හතරක් ඇතුළත එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 3 කට 35 ක් ලෙස වෙනස් කළේය.

තමන්ගේම පන්දුවක් හමුවේ ජෝ රූට්ගෙන් ලද උඩපන්දුවක් වෙත පියාඹා ගිය මාලින්ද පුෂ්පකුමාර විසින් ලකුණු 39 දී එංගලන්ත දෙවනි ඉනිමේ සිව්වැනි කඩුල්ලත් බිම හෙළන ලදි. සෑහෙන අසීරුතාවකට පත්ව සිටි එංගලන්ත පිලට ලක්ෂාන් සඳකැන්ගේ නිපන්දු දෙකකින් ලැබුණේ කදිම තල්ලුවකි.

බෙන් ස්ටෝක්ස් ලකුණු 22 ක් ලබා සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට ඉතාමත් වැරෙන් ගැසූ ඩ්‍රයිව් පහරකින් ඇදී ගිය පන්දුව එක්ස්ට්‍රා කවර්ස්හි සිටි ධනුෂ්ක ගුණතිලකගේ දෑත් අතර නතර වූයේ උඩපන්දුවක් ලෙසිනි. තමන් ගැසූ පහර පිළිබඳව තමන් කෙරෙහිම උපන් කළකිරීමෙන් යුතුව, හිස දෙපසට වනමින් ක්‍රීඩාගාරය වෙත පියමං කරමින් සිටි ස්ටෝක්ස් ආපසු කැඳවීමට විනිසුරු සුන්දරම් රවී මහතා තීරණය කළේ එය නිපන්දුවක් වූ බැවිනි.

ඕවර දෙකකට පසුව සඳකැන් එකම වරද දෙවැනි වතාවටත් කළේය. බෙන් ස්ටෝක්ස් ලකුණු 32 ක් ලබා සිටියදී ධනංජය ද සිල්වා විසින් රැකගන්නා ලද උඩපන්දුවත් අපතේ ගියේය.

සෙනසුරාදා සහ ඉරිදා (ඊයේ) විනිසුරු තීරණ අතිශය දුර්වල මට්ටමක පැවතිණ. දෙවැනි ඉනිම දෙකේදී පමණක් නවසීලන්ත ජාතික ක්‍රිස් ග්‍රැෆනි සහ සුන්දරම් රවී යන විනිසුරුවරුන් දෙදෙනාට සිය තීරණ හය වතාවක් වෙනස් කිරීමට සිදුවූ අතර දෙපිලම විතීවි අවස්ථා සියල්ලම රැකගෙන තිබිණ.

 

1

6

97

ඡායාරූප - චතුර එස් කොඩිකාර 

තරගයේ විශේෂ අවස්ථා 


අදහස් (0)

ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.