Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරයා ක්‍රිෂාන් : ශූරිය මුතුමාලි

ශූරයා ක්‍රිෂාන් : ශූරිය මුතුමාලි

ශානුක අරවින්ද - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කෑගල්ල නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මහීපාල හේරත් අභියෝග සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශුරතාව දිනාගැනීමට ආදි විද්‍යාර්ථ මේසපන්දු සමාජයේ ක්‍රිෂාන් වික්‍රමරත්න සමත් විය. එහි විවෘත කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුතුමාලි ප්‍රියදර්ශනී විසිනි.

කොරෝනා වසංගතය හේතුවෙන් සියලු ක්‍රීඩා ඉසව් අතහැර දැමීමෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැති පළමු සමස්ත ලංකා මේසපන්දු තරගාවලිය මෙය විය. ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ මගපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය මෙම තරගාවලිය සංවිධානය කළේය.

විවෘත පිරිමි කේවල අවසන් මහ තරගය ජය ගැනීමට ක්‍රිෂාන් වික්‍රමරත්න සමත් වූයේ එහිදී කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර ද සිල්වාට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කරමිනි.

අවසන් තරගයේ පළමු සහ දෙවැනි වට (ලකුණු 12/10 ක් සහ 11/6 ක් ලෙස) ජයගත් ක්‍රිෂාන්, තෙවැනි වටයේදී සෙනුර හමුවේ (ලකුණු 11/6 ක් ලෙස) පරාජයට පත්විය. කෙසේ වුවත් යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වූ ක්‍රිෂාන්, සිවුවැනි වටය ලකුණු 11/9 ක් ලෙස ජයගනිමින් වට 3-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තහවුරු කර ගත්තේය.

අවසන් පූර්ව වටයේදී ඕ.එම්.බී.සී. සොලූෂන් පුද්ගලික සමාගමේ මිලින්ද ලක්ෂිතට එරෙහිව වට 3-1 ක ජයක් (11/8, 11/9, 14/16, 17/15) ලබමින් ක්‍රිෂාන්ද, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේට එරෙහිව වට 3/0 ක ජයක් (11/5, 11/6, 12/10) ලබමින් සෙනුරද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්හ.

විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී තියුණු සටනකින් අනතුරුව වට 3-2 ක් ලෙස කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය පරාජය කිරීමට මුතුමාලි ප්‍රියදර්ශනී සමත් වූවාය. එහිදී පළමු සහ තෙවැනි වට (ලකුණු 11/8 ක් සහ 11/7 ක් ලෙස) ජය ගැනීමට ජිතාරාද, දෙවැනි සහ සිවුවැනි වට (ලකුණු 11/8 ක් සහ 11/9 ක් ලෙස) ජය ගැනීමට මුතුමාලිද සමත් වූහ. කෙසේ වුවත් දෙදෙනාටම තීර්ණාත්මක වූ අවසන් වටය ලකුණු 11/2 ක් ලෙස විශිෂ්ට අයුරින් ජයගත් මුතුමාලි, සමස්ත තරගයේ ජය වට 3-2 ක් ලෙස තමන් සතුකර ගත්තාය.

අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස (11/9, 11/9, 11/6) මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර පරාජය කරමින් ජිතාරා අවසන් මහ තරගයට අවතීර්ණ වූවාය. මුතුමාලි අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී වට 3-2 ක් ලෙස (7/11, 11/9, 11/6, 9/11, 12/10) හිටපු ජාතික ශුරියක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි පරාජය කරමිනි.

සෞඛ්‍ය උපදෙස් හේතුවෙන් තරගාවලියේ යුගල තරග නොපැවැත්වුණ අතර කේවල ඉසව් පමණක් පැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත්හ. ඒ අනුව කාන්තා තරග සෙනසුරාදා (30) ද, පිරිමි තරග ඉරිදා (31) ද පැවැත්විණ. තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මේසපන්දු සංගමයේ සභාපති, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහභාගි විය.

 

මුතුමාලි ප්‍රියදර්ශනී


අදහස් (0)

ශූරයා ක්‍රිෂාන් : ශූරිය මුතුමාලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.