Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා අමාත්‍යංශයට සුදු අලියෙක්

ක්‍රීඩා අමාත්‍යංශයට සුදු අලියෙක්

නාමල් පතිරගේ - 2019 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශයේ අභිනවයෙන් ඉදිකළ මානව කාර්ය සාධක විද්‍යාගාරය අනිද්දා (4) ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අතින් විවෘත කිරීමට නියමිතය. නව විද්‍යාගාරය විවෘත කිරීමෙන් පසුව මෙතෙක් භාවිතා වූ ජාතික ක්‍රීඩා විද්‍යායතනය යන නාමය වෙනුවට එය ‘ජාතික ව්‍යායාම හා ක්‍රීඩා වෛද්‍ය ආයතනය’ යනුවෙන් හැඳින්වීම සිදු කෙරේ.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයට අලුතෙන් එක්වන මහල් හතරකින් යුත් මානව කාර්ය සාධන විද්‍යාගාරය සඳහා රුපියල් මිලියන 1600ක පමණ මුදලක් වැයවී තිබේ.

කෙසේ වුවත් අනිද්දා ක්‍රීඩා ඇමැතිවරයා අතින් එහි ගොඩනැගිල්ල විවෘත වුවත් විද්‍යාගාරයේ භාවිතා කරන උපකරණ හා මෙවලම් විදේශ රටවල් කීපයකින් ආනයනය කිරීමෙන් පසුව මෙරටට ළඟාවීම ලබන වසර මැද භාගයේදී පමණ සිදුවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යෝග්‍යතාව හා ඉරියව් අධ්‍යයනය කිරීමත් ඔවුන්ගේ ආබාධයන් පිළිබඳව ඉතා නිවැරැදිව නිරීක්ෂණය කිරීමට හැකිවීමත් නව විද්‍යාගාරයෙන් ලැබෙන ඉහළම ප්‍රයෝජනයයි. එහිදී දියුණු රටවල භාවිතයට ගන්නා අති නවීනතම විද්‍යාගාර හා භෞත චිකිත්සක උපකරණ භාවිතයට ගැනේ. ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙකුගේ ඉරියව් සැකයට ලක්වන අවස්ථාවන්වල දී ඒ පිළිබඳව නිවැරැදිව පරීක්ෂා කරවා ගැනීමේ පහසුකම් වලින්ද නව විද්‍යාගාරය සමන්විත වන බව කියැවේ.

මුත්තයියා මුරලිදරන් ඇතුළු ශ්‍රී ලාංකික පන්දු යවන්නන් ගණනාවක් පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් චෝදනා ලබද්දී මෙතෙක් එම පරීක්ෂණයන් සිදු කළේ ඕස්ටේ්‍රලියාව ඇතුළු විදෙස් රටවල්වලදීය.

නව විද්‍යාගාර ගොඩනැගිල්ල ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා විද්‍යායතන ගොඩනැගිල්ලට යාබදව ඉදිකර තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ඒකකය ලෙස ක්‍රියාත්මක ජාතික ව්‍යායාම හා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලය මේ වනවිට වෛද්‍යවරුන් හයදෙනෙකු භෞත චිකිත්සකයන් තිදෙනකු සම්බාහකයන් 29 දෙනකු ඇතුළුව පෝෂණවේදීන්, පර්යේෂණ නිලධාරින් හා සේවක සේවිකාවන් 75 දෙනකුගෙන් සමන්විතය.

නව විද්‍යාගාරය ස්ථාපිත කිරීමත් සමග ඒ සඳහා පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු තවත් භෞත චිකිත්සක වරුන් බඳවා ගැනීමට නියමිතය. වසර 2017 දී එවකට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ දයාසිරි ජයසේකර මහතා විසින් නව විද්‍යාගාරය ඉදි කිරීම සඳහා මුල්ගල තබනු ලැබීය.

ඡායාරූපය - මානව කාර්ය සාධන විද්‍යාගාර නව ගොඩනැගිල්ල

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශයට සුදු අලියෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.