Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක ශූරතාවලි දෙකක් මඟහැරෙයි

ලෝක ශූරතාවලි දෙකක් මඟහැරෙයි

නාමල් පතිරගේ - 2019 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය නැවත ස්ථාපිත කළ ද මෙම වසරට නියමිත ලෝක පිහිනුම් ශූරතා තරගාවලි දෙකක සහභාගිත්වය අත්හැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

දකුණු කොරියාවේ ‘ග්වැන්ජියු’ නුවර දී ආරම්භ වූ ලෝක පිහිනුම් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අත්හැර දැමීමට සිදු විය. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිර්දේශ වුවත් එම නම් කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරිණ.

මෙම තරගාවලිය රටවල් 192 ක සහභාගිත්වයෙන් මේ මස  12 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වේ.

හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේ දී ලෝක කනිෂ්ඨ පිහිනුම් ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු 20 සිට 25 වැනිදා දක්වාය. ඒ සඳහා තේරීම් තරග පවත්වා ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් එම තරග සංචාරය ද අත්හැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

ලෝක කනිෂ්ට තරගාවලියට වයස 15ත් 18ත් අතර බාලකයෝ සහ වයස 14ත් 17ත් අතර බාලිකාවෝ තරග වදිති. ඒ සඳහා රටවල් 90කින් පමණ තරගකරුවෝ සහභාගි වෙති.

වසර කීපයක් තිස්සේ අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ තහනමට ලක්ව තිබෙන ශ්‍රී ලංකාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ඉක්මන් පියවර ගන්නා බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයට නොබෝදා පත් වූ නේතෲ නානායක්කාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසීය. වසර කීපයක් තිස්සේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය වෙනුවට ක්‍රීඩා අමාත්‍යංශය අතුරු කමිටුවක් පත් කිරීම එම අන්තර් ජාතික තහනමට හේතු විය.

කෙසේ වුවත් නොබෝදා පැවැති ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ දී නානායක්කාර මහතා ප්‍රතිවාදී අපේක්‍ෂක හිටපු සභාපති කොමදෝරු ජයන්ත ගමගේ මහතා වැඩි ඡන්ද 15කින් පරාජයට පත් කරමින් සභාපති ධුරයට පත් විය.

නානායක්කාර මහතා මීට පෙරත් ජල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දැරූ අයෙකි. පැවැති නිලවරණයේ දී එහි ලේකම් ධුරයට මතඟ යහම්පත් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

පොලිස් අධිකාරි චමින්ද බමුණුආරච්චි මහතා ද මෙවර ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ දී සභාපති ධුරයට නාමයෝජනා බාර දී තිබුණ ද ඔහු එය කැඳවූ අවස්ථාවේ දී ඉල්ලා අස්කර ගත්තේය.

 


අදහස් (0)

ලෝක ශූරතාවලි දෙකක් මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.