Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොට් පාපැදි දෙක එහෙම දෙන්න බෑ

වොට් පාපැදි දෙක එහෙම දෙන්න බෑ

නාමල් පතිරගේ - 2020 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


තමන් ශ්‍රී ලංකා රජයේ නීතියට අනුව කටයුතු කරන බැවින් නඩු භාණ්ඩයක් විය හැකි, තම භාරයේ දැනට පවතින පුහුණු පාපැදි දෙක ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට බාරදිය නොහැකි බවත්, නීතිපතිවරයාගේ උපදෙස් මත පමණක් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ සභාපති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පවසයි. අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ පුහුණු පාපැදි දෙකක් පසුව ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය භාරයට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එසේ පැවසීය.

අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ සභාපති ඩේවිඩ් ලැෆර්ටයින්ට් මහතා නොබෝදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ ක්‍රීඩා පොලිස් විමර්ශන ඒකකය භාරයේ රඳවා ගෙන තිබෙන පුහුණු පාපැදි දෙක නොපමාව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය බාරයට පත් කළ යුතු බවයි. එසේ නැතහොත් එම පුහුණු පාපැදි ඩුබායි නුවර ස්ථාපිත ආසියානු පාපැදි සම්මේලනයේ මූලස්ථානයට ආපසු බාර දෙන ලෙසත් එම ලිපියෙන් ඔහු වැඩිදුරටත් උපදෙස් දී තිබුණි.

නේපාලනයේ ‘‘කත්මන්ඩු’’ නුවර දී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමට රුපියල් මිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුත් මෙම පුහුණු පාපැදි දෙක ප්‍රදානය කිරීම තරග පාවාදීමේ සිදුවීමකට සම්බන්ධ දැයි විමර්ෂණය කිරීම සඳහා ඒවා පොලිස් ක්‍රීඩා විමර්ෂණ බාරයට ගෙන තිබේ.

ඊට හේතු වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පාර්ශවයක් විසින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට එරෙහිව එම චෝදනාව නගමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටීමය. එහි විමර්ෂණ කටයුතු මේ වනවිට ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය ආරම්භ කර තිබේ.

අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබුණේ අදාළ සිදුවීම තරග පාවාදීමේ චෝදනාවකට සම්බන්ධකර ගැනීමට කිසිදු පදනමක් නොමැති බවත් පුහුණු පාපැදි ශ්‍රී ලංකාවට ප්‍රදානය වූයේ ඔලිම්පික් සහයෝගීතා වැඩසටහන ක්‍රියාවට නගමින් බවත්ය. මේ සම්බන්ධයෙන් ආසියනු පාපැදි සම්මේලනයේ පසුගිය අගෝස්තු 13 වැනිදා ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විමර්ෂණ ඒකකයට යොමු කළ ලිපියකින් ද දන්වා තිබුණේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප්‍රධානීන්ට පුහුණු පාපැදි ප්‍රදානය මුල් කරගනිමින් තරග පාවාදීමේ චෝදනාව නැගීම පදනම් විරහිත බවයි. ඒ සඳහා තහවුරු කළ සාක්‍ෂි නොමැති බව ද එමගින් අවධාරණය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘‘අපි මේ සම්බන්ධයෙන් විමර්ෂණය කරන්නේ රටේ නීතියට අනුවයි. ජාත්‍යන්තර සංගම්වලින් ශ්‍රී ලංකාවේ වෙනත් පාර්ශ්වවලට පුද්ගලයන්ට කෙරෙන දැනුම්දීම්, විමසීම් අපේ විමර්ෂණවලට අදාළ නෑ.“

“අපි කටයුතු කරන්නේ නීතිපති උපදෙස් අනුවයි. නීතිපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියට දෙන උපදෙස් අනුව අප කටයුතු කරනවා. දැනට අප ඒකකය භාරයේ තිබෙන පුහුණු පාපැදි දෙක මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නඩු නිමිතක් ඇතිවුණෙත් එතන දී නඩු භාණ්ඩ ලෙසත් යොදා ගන්න සිදුවේවි. ඒ නිසා මේ පුහුණු පාපැදි දෙක මුදා හැරීම ගැන අපට දැන්ම කිසිවක් කියන්න බෑ.’’

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ මවුන්ටන් කාන්තා පාපැදි ඉසව්ව ආරම්භක ස්ථානයට වාර්තා කළ ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම තරග නොවදිමින් ඉන් ඉවත්වීමට ගත් තීරණය ඊට සහභාගි වූ වෙනත් රටක බලපෑම මත සිදුවූවක් ද යන්න පිළිබඳව මෙම තරග පාවාදීමේ චෝදනාවේ දී විමසා බැලේ. එහෙත් එම තීරණය පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ පුහුණුකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ඉවත් වූයේ තාක්‍ෂණික ප්‍රශ්නයක් මුල් කර ගනිමින් බවත්ය.

පාපැදි තරග නීති රීති ගැන වැටහීමක් හා අවබෝධයක් නොමැති පාර්ශවයක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි පාපැදි සම්මේලනයේ පාර්ශවය ප්‍රකාශ කරයි.
 

 


අදහස් (0)

වොට් පාපැදි දෙක එහෙම දෙන්න බෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.