Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වූෂූ ක්‍රීඩාව පරිහානියට යනවා

වූෂූ ක්‍රීඩාව පරිහානියට යනවා

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වුෂූ ක්‍රීඩාවේ නිරත නොවූ පුද්ගලයන් එහි පරිපාලනයට පැමිණිමත්, සුදුසුකම් නොලත් පුද්ගලයන් විනිසුරුවන් සහ තරග තීරකවරුන් ලෙස කටයුතු කිරීමත් නිසා ශ්‍රී ලංකාවේ වුෂූ ක්‍රීඩාව පරිහානියට පත්ව ඇතැයි ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ හිටපු සභාපති රවී දේවනාරායන මහතා පවසයි. 

වසර 1993 දී ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ ආරම්භක උප ලේකම්වරයා ලෙස කටයුතු කළ දේවනාරායන මහතා, පසුව එහි ලේකම් සහ උප සභාපති යන තනතුරු දැරීය. අනතුරුව 1997 වසරේදී සභාපති ධූරයට පත්විය. ඉන් පසුව වසර 15 ක පමණ කාලයක් වුෂූ පරිපාලනයෙන් ඉවත්ව සිටි ඒ මහතා, වත්මන් වුෂූ පරිපාලනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවැසීය. 

“වුෂූ කියන්නේ ක්‍රීඩාවක් වගේම සටන් කලාවක්. ඒ නිසා මේ ක්‍රීඩාවෙදි ක්‍රීඩකයන්ට අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.... අපි පරිපාලනයේ හිටපු කාලයේ ඒ වගේ අනතුරු අවම කරගන්න පුලුවන් හැම ක්‍රියාමර්ගයක්ම අපි ගත්තා. මූලිකම දේ තමා සුදුසුකම් සහිත විනිසුරුවරුන් පමණක් තරග විනිශ්චය කිරීම සඳහා යෙදවීම.” 

“ඒත් කියන්න කණගාටුයි, පසුගිය කාලේ පරිපාලනයේ හිටපු පුද්ගලයන් කිසිම සුදුසුකමක් නැති අය පවා තමන්ගේ හිතුමතේට විනිසුරුවන් විදියට බඳවාගත්තා. 2008 සහ 2009 වසර දෙකේදී පාසල් ක්‍රීඩකයන් දෙදෙනෙක් තරග අතරතුර මියයෑම එකේ ප්‍රතිඵලයක් විධියට අපිට හඳුන්වන්න පුළුවන්.” 

“ඒ අවස්ථාවල සුදුසුකම් සහිත පලපුරුදු විනිසුරුවන් හිටියා නම් ඒ ළමයි දෙන්නගෙ ජීවිත බේරගන්නත් ඉඩ තිබුණා. මොකද ප්‍රතිවාදී ක්‍රීඩකයා නිතී විරෝධී පහරක් ගහන්න හදනකොට විනිසුරුවරයාට පුළුවන් ඒ පහර නවත්වන්න. නමුත් එදා අවාසනාවකට එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඒ සිදුවීමට එවකට හිටපු පරිපාලනයත් වගකියන්න ඕන කියලයි මම හිතන්නේ.” යැයි දේවනාරායන මහතා පැවසීය. 

වුෂූ ක්‍රීඩකයන්ට ලැබිය යුතු වරප්‍රසාද සහ පහසුකම් මේ වන විට වැඩි වශයෙන් භුක්ති විඳින්නේ එහි පරිපාලන නිලධාරීන් බවද දේවනාරායන මහතා කියා සිටියි. 

“අපේ කාලේ වගේ නෙමෙයි. දැන් වුෂූ ක්‍රීඩාවට ලැබෙන ප්‍රතිපාදන සහ පහසුකම් හුගක් වැඩියි. නමුත් ඒවායෙන් ක්‍රීඩකයන්ට ලැබෙන්නේ ඉතාමත් අතලොස්සයි.....නිලධාරීන්ට තමා මුල් තැන දෙන්නේ... වැඩි සැලකිල්ලක් දක්වන්නේ. ක්‍රීඩකයන්ට හැමදාම කුඩම්මගෙ සැලකිලි.” යැයි දේවනාරායන මහතා කියා සිටියේය. 

වුෂූ ක්‍රීඩාව නවතත් නඟා සිටුවීමට නම් බෙදී වෙන්ව සිටින සියලුම වුෂූ සංගම් යළි එක්විය යුතු බවත්, පළාත් සහ දිස්ත්‍රික් වුෂූ සංගම් යළි ක්‍රියාකාරී විය යුතු බවත් පවසන දේවනාරායන මහතා, එසේ වන්නේ නම් කිසිදු පැකිළීමකින් තොරව ඒ සඳහා තමාගේ සහය ලබාදීමට සුදානම් බවද අවධාරණය කර සිටියේය. 

“වත්මන් සම්මේලනයේ ඉන්න අයගෙන් ඉතාම අතලොස්සකට විතරයි ඇත්තටම මේ ක්‍රීඩාව දියුණු කරන්න උවමනාව තියෙන්නේ. සභාපතිවරයාට ලොකු උවමනාවක් තියෙනවා මේ ක්‍රීඩාව හරි මාර්ගයට ගන්න. ඒත් ඔහුගේ වටේ ඉන්න කිහිප දෙනෙක් ඔහුට ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ අයට ඕන තම තමන්ගේ හිතවත්කම් වලට ක්‍රීඩකයන් තෝරන්න. විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් පත්කරන්න. නැත්නම් එයාලට පැවැත්මක් නැහැ.” 

“වුෂූ පරිපාලනයට සම්බන්ධයක් නැති වුණත් ජාතික වුෂූ සංසදයේ පවා ජ්‍යෙෂ්ඨ උපදේෂකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් රැසක් ඉන්නවා. මේ ක්‍රීඩා දියුණු කරන්න නම් ඒ අයගේ සේවයත් ලබාගන්න ඕනේ. පෞද්ගලික අමනාපකම් අමතක කරලා හැමෝම එකතු වුණෝත් අපිට පුළුවන් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගන්න මට්ටමට මේ ක්‍රීඩාව ගෙනියන්න.” යැයිද දේවනාරායන මහතා සඳහන් කළේය. 

 


අදහස් (0)

වූෂූ ක්‍රීඩාව පරිහානියට යනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.