Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මල්ලවපොර නිලවරණය නොවැම්බර් 30 දා

මල්ලවපොර නිලවරණය නොවැම්බර් 30 දා

නාමල් පතිරගේ - 2020 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය ලබන නොවැම්බර් 30 වැනිදා පෙරවරු 10 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා නාමයෝජනා බාර ගැනීම මෙම 21 වැනිදා අවසන් කරන බව මල්ලවපොර සම්මේලනයේ වැඩබලන ලේකම් සරත් හේවාවිතාරණ මහතා පවසයි.

මෙම වසරේ අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතුව තිබූ ජාතික ක්‍රීඩා සංගම් 24ක් අතර මල්ලවපොර සම්මේලනය ද විය.

එහි විධායක සභාව සභිකයන් 15 දෙනකුගෙන් සමන්විත වේ. සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ ප්‍රධාන ධුර තුන හැරෙන්නට උප සභාපති ධුර පහක් හා කාරක සභා ධුර පහක් ද උපලේකම් හා උපභාණ්ඩාගාරික යන ධුර තුනක් පිරවීම සඳහා ද මල්ලවපොර සම්මේලනයේ නිලවරණය කැඳවේ.

දිස්ත්‍රික් හා අනුසංගම් 13ක් මෙවර නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නිර්දේශවී සිටියි. එහිදී කොළඹ, ගම්පහ හා මහනුවර යන දිස්ත්‍රික් මල්ලවපොර සංගම් සඳහා පමණක් නිලවරණයේ දී ඡන්ද දෙකක් බැගින් හිමිවේ. වැඩිම ක්‍රීඩා සමාජ නියෝජනය කිරීමේ පදනම මත එකී දිස්ත්‍රික් සංගම් සඳහා ඡන්ද දෙකක් බැගින් හිමිව තිබේ.

මේ වනවිට සම්මේලනයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරන සරත් හේවාවිතරණ මහතා මීළඟ නිලවරණයේ දී සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂාවෙන් පසුවන බව වාර්තා වේ. ඔහු මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ වත්මන් සභාපතිවරයායි.

මල්ලවපොර සම්මේලනයේ අවසන් නිලවරණය පවත්වා ඇත්තේ වසර 2017 අගෝස්තු 31 වැනිදාය. එහිදී ඉදිරි සිව් වසරක් සඳහා බලපැවැත්වෙන පරිදි නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම සඳහා නිලවරණය කැඳවීය.

මල්ලවපොර සම්මේලනයේ නිලවරණය සඳහා මෙලෙස දින යොදා ගන්නා අතර එහි වත්මන් පාලනයේ නිලධාරීන් පිරිසකට එරෙහිව එල්ලවී තිබෙන චෝදනා මාලාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ විශේෂ කමිටුව සිය වාර්තාව අද (10) ක්‍රීඩා අමාත්‍යාංශයට බාරදීමට නියමිතව තිබුණු බව වාර්තා විය.  කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් එච්.එම්. ලක්‍ෂ්මන් මහතා විසින් මෙම චෝදනාව යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ පැමිණිල්ල විභාග කිරීමෙන් පසුව චෝදනාලාභී නිලධාරීන්ට එරෙහිව පොලිස් වංචා දූෂණ විමර්ශනය විසින් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ හිටපු මල්ලවපොර ප්‍රධාන පුහුණුකරු ධුරය ද දැරූ ලක්‍ෂ්මන් මහතා ක්‍රීඩා ඇමැතිවරයාට නොබෝදා යොමු කළ ලිපියකින් ඉල්ලා සිටියේ මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් පිරිසකට එරෙහිව සිදු කෙරෙන විමර්ශන අවසන් වන තෙක් එහි නිලවරණය කැඳවීමෙන් වළකින ලෙසය. කෙසේ වුවත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මල්ලවපොර සම්මේලනයේ නිලවරණය (2020 – 22) පවත්වා අවසන් කරන ලෙස මේ වනවිට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබෙන බවයි.

වසර දෙකක කාලයක් සඳහා නිලවරණයෙන් මල්ලවපොර නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම සිදුවන අතර මහ සභා රැස්වීමක එකඟතාවයෙන් නැවත නිලවරණයකට නොගොස් එය සිව් වසරක් දක්වා දීර්ඝ කර ගැනීමේ අවස්ථාව මල්ලවපොර සම්මේලනයේ ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා තිබේ.


අදහස් (0)

මල්ලවපොර නිලවරණය නොවැම්බර් 30 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.