Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බෝයිකොට් විස්තර විචාරයෙන් සමුගනී

බෝයිකොට් විස්තර විචාරයෙන් සමුගනී

editorial - 2020 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බීබීසී ගුවන්විදුලි සේවයේ සුප්‍රකට විස්තර විචාරකයකු ලෙසින් වසර ගණනාවක් කටයුතු කළ ජෙෆ්රි බෝයිකොට්  මහතා බී.බී.සී. විචාරක කණ්ඩායමෙන් ඉවත් වන බව පසුගියදා නිවේදනය කළේය. බී.බී.සී. ගුවන් විදුලියේ ‘ටෙස්ට් මැච් ස්පෙෂල්‘ වැඩසටහනේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ බෝයිකොට් මහතා එංගලන්ත පිලේ හිටපු ආරම්භක පිතිකරුවකුද විය.

මේ වන විට 79 වියේ පසුවන බෝයිකොට් මහතා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වන විචාරක ලයිස්තුවෙන් ඉවත් කර තිබිණ. එහෙත් බෝයිකොට් මහතා පැවසූවේ අවස්ථාව ලැබුණා නම් තමන් විචාරක කණ්ඩායමට එක්වන බවයි.

මෑතකදී ජෙෆ් බෝයිකොට් මහතා සිව් වතාවක් හදවත් සැත්කම් වලට මුහුණ දුන් අතර “වසර 14 ක කාලයක් බී.බී.සී. ගුවන් විදුලි සේවයේ ටෙස්ට් මැච් ස්පෙෂල් සහ බී.බී.සී. ක්‍රීඩා සේවය වෙනුවෙන් කටයුතු කිරීමට අවස්ථාව දීම ගැන මම ස්තූතිවන්ත වෙමි,” යයි සිය ට්විටර් අනුගාමිකයන්ට පවසා තිබිණ.

"බීබීසී සමඟ මගේ ගිවිසුම පසුගිය ගිම්හානයේ  අවසන් වුණා. මම දිගටම යන්න කැමති නමුත් මා යථාර්ථවාදී සහ අවංක විය යුතුයි“ යයි යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සහ එංගලන්ත කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවා පැවසීය:

සමාජ දුරස්ථ රෙගුලාසි අනුව සීමිත අවකාශයක වැඩ කිරීම සඳහා මෙය නියම වයස නොවන බවද  බෝයිකොට් මහතා පැහැදිලි කළේය. ක්‍රිකට් විස්තර විචාරකයන් සිටින කුටියක මීටරයක සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම අසීරු කාර්යයකි.

බොහෝ විට නිර්භයව කතා කරන ක්‍රිකට් විචාරකයකු වන බෝයිකොට් මහතා ක්‍රීඩා කළ අවදියේදී අති විශිෂ්ට පිතිකරුවකු විය. පළමුවැනි ශ්‍රේණියේ ශතක 100 ක් ලබාගත් පිතිකරුවන් අතලොස්සෙන් අයකු වන බෝයිකොට් ටෙස්ට් ලකුණු 8000 පසුකළ පළමු එංගලන්ත ජාතිකයා විය. 1980 දශකය මුලදී වැඩිම ටෙස්ට් ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තාවද හිමිකරගත් බෝයිකොට් සැලකුණේ කණ්ඩායමේ සාර්ථකත්වයට වඩා පුද්ගල වාර්තා ඉදිරියෙන් තැබූ ඉතා ආත්මාර්ථකාමී පිතිකරුවකු ලෙසිනි.

1986 දී යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ පැවැති ඔහුගේ 24 වසරක පළමු පන්තියේ වෘත්තිය ක්‍රිකට් දිවිය අවසන් වීමෙන් පසුව, බෝයිකොට් පුවත්පත් තීරු ලිපි රචකයෙකු මෙන්ම විස්තර කථකයකු ලෙසද  ක්‍රිකට් ලෝකයේ ආකර්ශනය දිනාගත්තේය.


- 213


අදහස් (0)

බෝයිකොට් විස්තර විචාරයෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.