Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු නිලවරණය මැයි 31 දා

පාපන්දු නිලවරණය මැයි 31 දා

නාමල් පතිරගේ - 2021 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මැයි 31 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ සඳහා නිලවරණ මෙහෙයුම් කමිටුවේ නිර්දේශ කර ගැනීමේ විශේෂ මහ සභා රැස්වීම මෙම 16 වැනිදා පස්වරු 2ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

මෙවර නිලවරණයේ දී සභාපති ධූරය සඳහා පාපන්දු සම්මේලනයේ වත්මන් ලේකම් විශේෂඥ වෛද්‍ය මනිලාල් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් වන බව කලින්ම ප්‍රකාශ විය. ඒ අතර පාපන්දු සම්මේලනයේ ජාතික ක්‍රීඩකයන්ගේ කමිටුවේ හිටපු සභාපති මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි මහතා නොබෝදා පැවසුවේ තමන් ද මෙවර සභාපති ධූරයට නාම යෝජනා බාර දෙන බවයි.

 වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා මනිලාල් ප්‍රනාන්දු පාර්ශ්වය නියෝජනය කරමින් මෙවර ප්‍රධාන ලේකම් ධූරයට තරග වැදීමට සූදානම් වේ. ඒ අතර පාපන්දු සම්මේලනයේ වත්මන් උප සභාපතිවරයෙකු වන විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතා ජස්වර උමාර් පාර්ශවය වෙනුවෙන් මෙවර ප්‍රධාන ලේකම් ධූරයට ඉදිරිපත්වීමට සූදානම් වන බව ද වාර්තා වේ. ඔහු මීට පෙරත් පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධූරය දැරූවෙකි.

සභාපති ධුර අපේක්‍ෂක වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා ලෝක පාපන්දු සමුළුවේ හිටපු විධායක සභික මනිලාල් ප්‍රනාන්දු මහතාගේ කනිටු පුත්‍රයාය. ඔහු මේ වන විට කළුතර පාපන්දු ලීගයේ සභාපති ධූරයේත් කටයුතු කරයි.

ක්‍රීඩා පනතේ හා පාපන්දු සම්මේලනයේ රෙගුලාසිවලට අනුව පාපන්දු සම්මේලනය සිය මීළඟ නිලවරණය ලබන මැයි 31 වැනිදාට යොදාගෙන තිබුණත් ඒ සඳහා ලෝක පාපන්දු සමුළුවේ අනුමැතිය මෙතෙක් ලැබී නැත. ලෝක පාපන්දු සමුළුව සිය සාමාජික රටවල ජාතික පාපන්දු සංගම් වෙත උපදෙස් ලබා දී ඇත්තේ සිය සමුළුව ව්‍යවස්ථාවට සමගාමීව සාමාජික රටවල් සිය ජාතික ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවය.

එම නියමයට අනුව මීළඟ නිලවරණය පවත්වන ලෙස ලෝක සමුළුව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. කෙසේ වූවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත ලෝක පාපන්දු සමුළුවේ ව්‍යවස්ථාව හා ගැටෙන කාරනා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණි ලෝක සමුළුවේ නියෝජිතයන් අවස්ථා කීපයකදීම සාකච්ඡා කළත් මෙතෙක් විසඳුමක් ලැබී නැත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට ලෝක සමුළු ව්‍යවස්ථාව හා අනුගතවීමේ දී විධායක සභාවේ නිලවරණයකින් පත් නොකෙරෙන පුළුල් බලතල සහිත වැටුප් ලබන විධායක ලේකම්වරයෙකු යෝජනා කර තිබේ. මේ අතර විධායක සභාව අවුරුදු හතරක් දක්වා වන කාලසීමාවකට යටත් කළ යුතු අතර ජාතික සම්මේලනය පූර්ණ නිදහස් ආයතනයක් ලෙස පවත්වාගෙන යා යුතු අතර නිලවරණයේ දී පවත්නා ඡන්ද ක්‍රමයේ වෙනසක් සිදු කෙරේ.

කෙසේ වූවත් මෙම සමහර යෝජනා ක්‍රීඩා පනත හා ගැටෙන බැවින් ක්‍රීඩා අමාත්‍යාංශය හා ලෝක සමුළුවේ නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් කළ සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නැත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ ලෝක සමුළුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා දින යොදා ගැනීමක් මේ වන විට සිදු කර තිබෙන බවයි.

මේ වන විට පාපන්දු සම්මේලනයේ ක්‍රියාකාරි ලිග් ගණන 64කි. ඒ අතරින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහනුවර හා කුරුණෑගල යන ලීග් සංගම් සඳහා මෙවර නිලවරණයේ දී ඡන්ද බලය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
දැනට පවතින ඡන්ද ක්‍රමයට අනුව නිලවරණයේ දී අනුමත ලිපියක් සඳහා ඡන්ද තුනක් බැගින් හිමි වේ.

වසර 2017 දී අවසන් වරට පැවැති පාපන්දු සම්මේලනයේ නිලවරණයේ දී 2017-21 වැඩි ඡන්ද 25කින් වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා තේරි පත් විය. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතාය.

 


අදහස් (0)

පාපන්දු නිලවරණය මැයි 31 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.