Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ජාතික පුහුණුකරු තනතුර බොස්නියාවේ අමීර් ඇලජික්ට

පාපන්දු ජාතික පුහුණුකරු තනතුර බොස්නියාවේ අමීර් ඇලජික්ට

නාමල් පතිරගේ - 2020 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මන් සම්භවයකින් හෙබි බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජාතික පාපන්දු පුහුණුකරු ධුරය සඳහා යෝජනාවී තිබේ. 59 හැවිරිදි ඔහු මේ වනවිට බොස්නියාවේ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක්වන එන්.කේ. ජෙඩින්ස්ට්වෝ - බිහාක් පාපන්දු ක්‍රීඩා සමාජයේ අධ්‍යක්‍ෂධුරය දරයි.

මෙතෙක් ජාතික පාපන්දු පුහුණුකරු ධුරය දැරූ රූමි පකීර් අලි මහතාගේ වසර දෙකක සේවය ලබන සිකුරාදා (31) අවසන් වේ.

විදේශීය පාපන්දු පුහුණුකරුවන් ගණනාවක්ම ශ්‍රී ලංකාවේ සේවය සඳහා අයැදුම්කර තිබිණ. එයින් ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රධානීන්ගේ වඩාත් අවධානය දිනා ගෙන තිබෙන අමීර් ඇලජික් මහතා මූලික සාකච්ඡාව සඳහා නව නොබෝ දිනකින් දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාපන්දු පුහුණුකරුවා වශයෙන් ඔහුගේ සැලැස්ම පිළිබඳව පාපන්දු සම්මේලනය අවධානය යොමු කිරීමෙන් පසුව ඔහුට ජාතික පාපන්දු පුහුණුකරු ධුරය පැවරෙනු ඇති බව පාපන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවරන පළමු ඉලක්කය වන්නේ ලබන සැප්තැම්බර් මාසයේ නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ දස්කම් ඉහළට ගෙන ඒමයි.

මේ අතර කටාර් - 2022 ලෝක කුසලාන පාපන්දු ආසියානු කලාප දෙවැනි වටයේ තවත් තරග තුනක් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබේ. එයින් පළමු තරගය ලබන මාර්තු 26 වැනිදා උතුරු කොරියාවට එරෙහිව “පියෑන්ග්යෑන්ග්” නුවරදී පැවැත්වේ.

අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකාවේ සේවයට බඳවා ගතහොත් එම තරග සඳහාද ඔහුගේ සේවය ලබා ගැනීමට පාපන්දු සම්මේලනය සැළසුම් කර තිබේ.

බොස්නියානු පාපන්දු පුහුණුකරු ඇලජික් මහතා මේ වනවිට චීනය, ලිබියාව, බෲනායි, බොස්නියාව, මාලදිවයින ඇතුළුව මැදපෙරදිග රටවල් රැසකත් ක්‍රීඩා සමාජ හා එම රටවල් කීපයක ජාතික යොවුන් පාපන්දු කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබේ.

ක්‍රීඩකයකු ලෙස ඔහු යුගෝස්ලෝවියාවේ (පසුව රටවල් කීපයකට වෙන් විය) ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කර තිබේ. කිසියම් රටක ජාතික පාපන්දු පුහුණුකරු ධුරය දැරීමේදී වෘත්තීමය පාපන්දු පුහුණුකරුවකු සතු “ප්‍රෝ” බලපත්‍රය තිබිය යුතු බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිර්දේශයයි.

අමීර් ඇලජික් මහතා එම බලපත්‍රය හිමි පාපන්දු පුහුණු උපදේශකවරයෙකි. ඔහු පුහුණුකරුවකුට අමතරව රටවල් රැසක පාපන්දු ක්‍රීඩා සමාජවල කළමනාකරු ධූරයන්ද දරා තිබේ. ලබන පෙබරවාරි 1 වැනිදා ඔහුගේ බොස්නියානු බිහාක් ක්‍රීඩා සමාජයේ සේවා කොන්ත්‍රාත් කාලය අවසන් වේ.

සර්බියානු ජාතික නිකොලා කවසෝබින් මහතා අවසන් වරට 2014 - 15 කාලසීමාවේදී මීට පෙර ශ්‍රී ලංකාවට සේවය ලබා දුන් අවසන් විදේශීය පුහුණුකරුවායි.

අනිද්දා සේවය අවසන් කරන ජාතික පාපන්දු පුහුණුකරු රූමි පකීර් අලි මහතා යටතේ ශ්‍රී ලංකාව නිල හා සුහද ජාත්‍යන්තර පාපන්දු තරග 17 කට සහභාගී වී ජය ගැනීමට සමත්වූයේ බංගලාදේශයට එරෙහිව පැවැති සුහද තරගයක් පමණි.

ලිතුවේනියාව, මාලදිවයින, ලාඕසය යන රටවල් සමග පැවති තරග තුනක් එහිදී ජය පරාජයෙන් තොරව අවසන් වී තිබුණත් සෙසු සියලු තරගවලදී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. එහිදී ලෝක කුසලාන (2022 - කටාර්) දෙවැනි වටයේ සුදුසුකම් සපුරන තරගයකදී ශ්‍රී ලංකාව දකුණු කොරියාව හමුවේ ගෝල 8 - 0 ක දරුණු පරාජයක් ලැබීය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව මැකාවෝ රාජ්‍යයට එරෙහිව නිතරග ජයක් ලබමින් කටාර් - 2022 ලෝක කුසාලන ආසියානු කලාපය දෙවැනි වටයට ප්‍රවේශ විය. මෑත වසර කීපයේදී ශ්‍රී ලංකාව වැඩිම ජාත්‍යන්තර තරග සහභාගීත්වයක් පෙන්නුම් කර ඇත්තේද පසුගිය 2018 - 19 කාලසීමාවේදීය. පසුගිය දෙසැම්බර් 19 වැනිදා අවසන් වරට කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබෙන අතර ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව අවසන් (45) වැනි ස්ථානයට වැටී තිබේ.  රූමි පකීර් අලි මහතා වසර 2018 පෙබරවාරි මාසයේ නිල වශයෙන් රාජකාරි අරඹන විට ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානයේත් ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 44 වැනි ස්ථානයේත් පසුවිය.

 


අදහස් (0)

පාපන්දු ජාතික පුහුණුකරු තනතුර බොස්නියාවේ අමීර් ඇලජික්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.