Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩාවට රුපියල් කෝටියක අනුග්‍රහයක්

මලල ක්‍රීඩාවට රුපියල් කෝටියක අනුග්‍රහයක්

නාමල් පතිරගේ - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලල ක්‍රීඩාවේ දේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා ‘‘ඥානම් පදනම’’ විසින්  රුපියල් කෝටියක් වන අනුග්‍රහයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ප්‍රදානය කර තිබේ. වසර දෙකක් සඳහා වන කාලයකට ලැබී තිබෙන එම අනුග්‍රහය මලල ක්‍රීඩා දේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් යොදා ගන්නා බව කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සිය දේශීය ප්‍රවර්ධන කටයුතු නැංවීම සඳහා නිල නිත්‍ය අනුග්‍රාහකයෙකු ලැබී ඇත්තේ වසර 10කට පමණ පසුවය. කෙසේ වුවත් පසුගිය වසර  කීපයේ දී ජාතික තරගාවලිය ඇතුළුව ප්‍රධාන මලල ක්‍රීඩා තරග ඉසව් කීපයක් සඳහා පමණක් අනුග්‍රාහකයෝ වෙන වෙනම ඉදිරිපත් වූහ.

මාධ්‍ය හමුවේදී පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ වැඩිම ජාත්‍යන්තර පදක්කම් ගණනක් දිනා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා ඉසව්ව බවට පත්ව තිබෙන මලල ක්‍රීඩා ඉසව්වේ දේශීය සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය සඳහා නිල අනුග්‍රාහකයෙකු ඉදිරිපත් නොවීමෙන් මලල ක්‍රීඩා සංගමය ඉතා අසීරු කාලයක් ගෙවා දැමූ බවයි. පසුගිය මාස කීපයේ දී රට තුළ උද්ගත වූ  කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මලල ක්‍රීඩා සංගමය තවදුරටත් අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක නව අනුග්‍රාහකයාගේ සේවය සිය සංගමය ඉතා ඉහළින් අගය කරන බවත් ඔහු එහිදී පැවසීය.

“කොවිඩ්“ වසංගත තත්ත්වය උද්ගතවීමෙන් මෙම වසරට නියමිත දේශීය තරගාවලි කීපයක්ම අත්හැර දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. එසේ වුවත් ලබන ඔක්තෝබර් 23-24-25 යන දිනවල දී ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලියත් දෙසැම්බර් 4, 5 යන දිනවල 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියත් කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට මේ වනවිට මලල ක්‍රීඩා සංගමය සැළසුම් කර තිබේ. පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ එම දේශීය තරග ඉසව් ඉහළ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේදයක් යටතේ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වනවිටත් අනුමැතිය ඉල්ලා තිබෙන බවයි.

මෙවර පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය සීමා කෙරෙන අතර ඒ සඳහා පළමු ජාතික තේරීම් තරගාවලියට සහභාගි වෙමින් නිර්දේශ ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ ප්‍රධාන අරමුණ  එළඹෙන 2021 වසර සඳහා ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත අන්තර් ජාතික තරග මාලා සඳහා මූලික ජාතික පුහුණු සංචිතය නිර්දේශ කිරීමය. එළඹෙන වසරේ දී ශ්‍රී ලංකාව අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග මාලා 10කට පමණ සහභාගිවීමට අපේක්ෂා කරයි.
ඒ අතරින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහභාගිත්වය වන්නේ මාර්තු 11 සිට 14 වැනිදා දක්වා කුවේට්  රාජ්‍යයේ දී පැවැත්වෙන සිව් වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය, අප්‍රේල් 3-4 දෙදින තායිලන්තයේ දී පැවැත්වෙන ආසියානු සහය දිවීමේ තරගාවලිය හා මැයි 23, 24 දෙදින චීනයේ දී පැවැත්වෙන 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය යන අන්තර් ජාතික ඉසව් කීපයයි.

ඒ අතරින් ආසියානු සහය දිවීමේ තරගාවලිය ශ්‍රී ලංකාවට අළුත් අත්දැකීමකි. වසර 2021 අගෝස්තු මාසයේ දී පැවැත්වෙන ‘‘ටෝකියෝ  ඔලිම්පික් උළෙල’’ හා අනතුරුව පැවැත්වෙන 14 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙල ද ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ තවත් ප්‍රධානතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගීත්වයක්ය. කෙසේ වුවත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පාකිස්තානයේ සත්කාරයෙන් පැවැත්වෙන බව මේ දක්වා සනාථ වී නැත.

‘‘කොවිඩ්’’  වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කටයුතු අඩපණ වුවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිවෙස්වලම ගත කරමින් ශාරීරික අභ්‍යාසවල වැඩි කාලයක් ගත කිරීමෙන් ඔවුන්ගේ ආබාධ තත්ත්වයන් මුළුමනින්ම සුව අතට හැරී ඇතැයි මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ හේතුවෙන් ජාතික මලල ක්‍රීඩා සංචිතයේ කලකට පසුව ආබාධ තත්ත්වයෙන් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් තොරව පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇති බවත් කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට යම් ප්‍රතිලාභයක් ද ඒ හේතුවෙන් අත්වී ඇතැයි ද ඔහු පවසයි.

දේශීය තරගාවලි සංවිධානය කිරීම හා සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සාධක කටයුතු සඳහා හැරෙන්නට එතෙර තරග සංචාර සඳහා නව අනුග්‍රාහකයන්ගේ මුදල් යොදා නොගන්නා බව මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න, ජාතික පුහුණු සංචිත තාක්ෂණික කමිටුවේ සභාපති ලාල් චන්ද්‍රකුමාර, මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරුන් වන ජී.එල්.එස්. පෙරේරා, අයිරාංගනී රූපසිංහ, එහි උප ලේකම් මේජර් ජනරාල් මුදලිගේ, උප ලේකම් බර්නාඩ් පෙරේරා යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


අදහස් (0)

මලල ක්‍රීඩාවට රුපියල් කෝටියක අනුග්‍රහයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.