Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ක්‍රීඩා සමාජ - ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානයක්

පාපන්දු ක්‍රීඩා සමාජ - ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානයක්

නාමල් පතිරගේ - 2021 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංවිධායකයන් වෙතින්ම තරග නීති රීති උල්ලංඝණය වී ඇතැයි කියන සිදුවීමක් පාදක කර ගනිමින් ක්‍රීඩා සමාජ හා ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුපිරි ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩා සමාජ ඒකාබද්ධ සංවිධානයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

එහි ප්‍රථම පියවර ලෙස සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ 10ට අයත් ප්‍රධානින් අද (2 වැනිදා) පස්වරු 6.00 ට කොළඹ එන්.සී.සී. ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැත්වෙන නව සංවිධානය ස්ථාපිත කෙරෙන විශේෂ රැස්වීමකට කැඳවා ඇතැයි වාර්තාවේ. එහි කැඳවුම්කරු ලෙස වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රීඩා සමාජයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

පළමු වරට හඳුන්වා දුන් සුපර් ලීග් පාපන්දු තරගාවලියේ පුහුණු වටය දැන් ආරම්භ කර තිබේ. තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන්නේ අප්‍රේල් 18 වැනිදාය.

වෙන්නප්පුව නිව්යංග්ස්, බේරුවල රෙඩ්ස්ටාර්, කළුතර බ්ලු ස්ටාර්ස්, නාවිකා හමුදා සීහෝක්ස්, ගුවන් හමුදා බ්ලූ ඊගල්ස්, යුද හමුදා ඩිෆෙන්ඩර්ස්, කොළඹ ක්‍රී.සමාජය, රන්නම්, නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස්, රිනවුන් යන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ ප්‍රධානින්ද එන්.සී.සී. ක්‍රීඩා සමාජ ශාලාවට කැඳවා තිබේ.

තරගාවලියේ පෙර පුහුණු වටයට සහභාගි වී සිටින ක්‍රීඩා සමාජයක් තමන්ට හිතවත් ඇමැතිවරයෙකු ගේ බලපෑම් යොදා ගනමින් තරග නීති උල්ලංඝනය වන අකාරයෙන් සිය කණ්ඩායමට ක්‍රීඩකයන් ආදේශ කර ඇතැයි චෝදනාවක් නැගී තිබේ. පැවති ශූරයන්ගේ ලීග් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් හා විදේශීය ක්‍රීඩකයන් සුපර් ලීග් තරගාවලියට සහභාගි කර ගැනීමේදී පනවා තිබෙන කොන්දේසි එහිදී උල්ලංඝනය වී ඇතැයි වැඩිදුරටත් චෝදනා නැගේ. තරගාවලියට සහභාගිවී සිටින ක්‍රීඩා සමාජ සඳහා කරනු ලබන ගෙවීම් සම්න්ධයෙන් මතුවී තිබෙන ගැටළුද සුපර් ලීග් ක්‍රීඩා සමාජ ප්‍රධානීන්ගේ අවධානයට යොමුවනු ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර ඇත්තේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ වෙත පාපන්දු ක්‍රීඩා උපකරණ, ක්‍රීඩකයන්ගේ ඇඳුම් ලබාදීම් හැරෙන්නට මුදලින් මිලියන තුනක් බැගින් ගෙවන බවයි. ඉන් රුපියල් මිලියනයක් බැගින් පුහුණු තරග වටයේ සහභාගිත්වය වෙනුවෙන් දැනටමත් ගෙවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියේ දේශීය ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වාර් උමාර් මහතා පසුගිය දිනවල එම කටයුතුවලින් ඉවත්ව සිටි බව වාර්තාවේ.   සුපර් ලීග් තරගාවලියේ තරගයක කොමසාරිස්වරයෙකු නිර්දේශ කිරීම සම්බන්ධයෙන් උද්ගතවූ බව කියන මත ගැටුමක් දුර දිග යාමෙන් ඔහු මෙලෙස සම්බන්ධීකාරක ධුරයේ කටයුතුවලින් ඉවත්ව සිටි බව පැවසේ.

මතභේදයට තුඩු දුන් තරග කොමසාරිස් ධුරය සඳහා පත්වීම් ලබා ඇත්තේද පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයෙකි.

ලබන මැයි මාසය ඉක්මවීමට පෙර පවත්වා අවසන් කළ යුතු පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයේදී තමන් සභාපති ධුරයට ඉදිරිපත් වන බව ජස්වාර් උමාර් මහතා දැනටමත් ප්‍රකාශ කර තිබේ.

 


අදහස් (0)

පාපන්දු ක්‍රීඩා සමාජ - ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.