Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 හේරත්ට හොඳ තෑග්ගක් සොයයි

හේරත්ට හොඳ තෑග්ගක් සොයයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රංගන හේරත් සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට සූදානම් වෙද්දී මින් ඉදිරියට රංගනගේ සේවය ශ්‍රී ලංකා පිලට නොලැබෙන බව එක කණගාටුවකි. දින දෙකකින් තණතීරුව නොදැකීම විස්සෝපයට තවත් කාරණාවකි.

පවතින කාලගුණික තත්ත්වය අනුව තණතීරුවේ ස්වභාවය කෙසේ විය හැකිද යන්න පිළිබඳ විචිකිච්ඡාවෙන් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිලට එරෙහිව දඟ පන්දු යවන්නන් තිදෙනකු කැඳවනවාද නැද්ද යන්න දෙගිඩියාවෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු වැන්න හෙට (6 වැනිදා) පෙරවරු 10.00 ට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

2001 න් මෙපිටදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියකින් පරාජය වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම උත්සාහය වන්නේ එම වාර්තාවත් රැකගනිමින් සමුගෙන යන රංගන හේරත්ට හොඳ ත්‍යාගයක් දීමයි.

“රංගනට හොඳ තෑග්ගක් දීම අපේ අපේක්‍ෂාවයි. ඒත් ඒ ගැන මේ වෙලාවේ මුකුත් කියන්න බෑ මොකද අපිට ඕනෑ කරන්නේ එයාව පුදුමයට පත්කිරීමයි....ඒත් අපට මේ තරගය වගේම තරගාවලියත් ජයගන්න පුළුවන් වුණොත් ඒක නම් එයාට හොඳ තෑග්ගක් වේවි”

“කණ්ඩායමේ බලාපොරොත්තුව ඒකයි” යයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අද (5 වැනිදා) සවස ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවසීය.

අද තරගය සඳහා සංයුතිය සාදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයා ඇතුළු තේරීම් කමිටුව තරමක අර්බුදයකට මුහුණ දී සිටී. දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ඉනිම ආරම්භ කරන්නේ නම් කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තිදෙනා අංක 3, 4 සහ 5 ස්ථාන අත්පත් කරගනු ඇත. ධනංජය ද සිල්වාගේ පන්දු යැවීමේ හැකියාව සම්බන්ධයෙන් නායක චන්දිමාල් වැඩි බලාපොරොත්තු රඳවා ඇති බැවින් ධනංජය ද සිල්වාට අංක 6 වෙන්කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

“ධනංජයගේ පන්දු යැවීම දිහා බැලුවාම ඔහු අපිට අවශ්‍ය ආකාරයට පන්දු යවන ක්‍රීඩකයෙක්. මම කියන්නේ ඔහු අවස්ථානුකූල පන්දු යවන්නෙක් නෙමේ. ඔහුට නියම පන්දු යවන්නෙක් වෙන්නත් පුළුවන්.....මේ ටෙස්ට් තරග තුනේදී ඔහුට පන්දු යැවීමෙන් ඉටුකරන්න ලොකු රාජකාරියක් තියෙනවා” යයිද චන්දිමාල් ඊයේ පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ නිරෝෂන් දික්වැල්ල හෝ රොෂේන් සිල්වා දෙදෙනාගෙන් අයකුට කණ්ඩායමට ඇතුළත් විය හැක්කේ ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 7 දෙනකු සහ පන්දු යවන්නන් 4 දෙනකු සමගින් ක්‍රීඩා කරන්නේ නම් පමණි. කෙසේ වෙතත් පවතින කාලගුණික තත්ත්වයන් යටතේ කණ්ඩායමට වේග පන්දු යවන්නන් දෙදෙනකු ඇතුළත් කිරීමට සිදුව තිබෙන බැවින් එක්දින තරගාවලියේදී ඉතාමත් සාර්ථක දස්කම් පෙන්වූ අකිල ධනංජයට හෝ වමතින් ‘චයිනමන්’ පන්දු යවන ලක්ෂාන් සඳකැන්ට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව දුරස් වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමට අද හිරු පායන තෙක් බලා සිටිය යුතුව තිබේ.
මේ අතර විනය හේතු මත ළහිරු කුමාර ආපසු කොළඹ යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය ඔහු වෙනුවෙන් දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබේ.

එංගලන්ත සංචිතයේ සිටින ක්‍රීඩකයන් 16 දෙනා අතුරින් ශ්‍රී ලංකාවේදී තරග අත්දැකීම් ඇති එංගලන්ත ක්‍රීඩකයන් වන්නේ ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ජේම්ස් ඇන්ඩසන් දෙදෙනා පමණි. සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම නවකයන් වන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පළපුරුදු දඟ පන්දු යවන්නන්ට නවක එංගලන්ත පිකරුවන් අමාරුවේ දැමීමට හැකිවෙතැයි නායක දිනේෂ් චන්දිමාල් බලාපොරොත්තු රඳවා තිබේ.

“එක්දින තරගාවලියේදී ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළේ එයාලා එක්දින තරග ගොඩාක් ක්‍රීඩා කරලා තියෙන නිසා. ඒත් ටෙස්ට් තරග දිහා බැලුවාම අපේ දඟ පන්දු යවන්නන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා අත්දැකීම් අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා” යයිද චන්දිමාල් පැවසීය.

හිටපු නායකයකුද වන ඇලිස්ටෙයාර් කුක්ගේ සමුගැනීම එංගලන්ත පිලට තදින්ම බලපා තිබේ. ඒ හේතුවෙන් ආරම්භක පිතිකරුවාගේ ස්ථානය සඳහා රෝරි බර්න්ස් කැඳවීමට බොහෝ සෙයින් ඉඩ ඇතත් සමස්තයක් වශයෙන් ගත්කළ එංගලන්තය ශක්තිමත් පිතිකරු හමුදාවක් මෙන්ම හොඳ පන්දු යැවීමේ බලඇණියක්ද තිබේ. එංගලන්ත පිලේ විශාලම ශක්තිය වන්නේ මුයින් අලී, බෙන් ස්ටෝක්ස්, සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් යන සිව්දෙනාය.

තම තමන්ගේ ශක්තිය සම්බන්ධයෙන් දෙපිලේ නායකයන් කෙතරම් තර්ක විතර්ක ගෙනහැර පෑවද අද දිනයේ සිට පවතින කාලගුණ තත්ත්වය තරගය කෙරේ ඉතාම දැඩි බලපෑමක් ඇතිකරන බව රහසක් නොවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඊයේ සවස නිකුත්කළ නිවේදනය ඒ තරම් යහපත් එකක් නොවේ.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, මාලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය

එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), මුයීන් අලි, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, ජේම්ස් ඇන්ඩසන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, කීටන් ජෙනින්ංග්ස්, ජැක් ලීච්, ඔලී පෝප්, අදිල් රෂීඞ්, බෙන් ස්ටෝක්ස්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස් සහ බෙන් ෆෝක්ස්

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

හේරත්ට හොඳ තෑග්ගක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.