Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කෝටි 3 ක සල්ලි මල්ලක් හොල්ලන ශ්‍රී ලංකා සුපර් ලීග් තරග සඳුදා සිට

කෝටි 3 ක සල්ලි මල්ලක් හොල්ලන ශ්‍රී ලංකා සුපර් ලීග් තරග සඳුදා සිට

editorial - 2021 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


-------------------
නාමල් පතිරගේ
-------------------

සහභාගි වන කණ්ඩායම් දහයටම රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් සහභාගිවීමේ ගාස්තුව ලෙස ලැබෙන ශ්‍රී ලංකා ‘සුපර් ලීග්’ පාපන්දු තරගාවලිය ලබන සඳුදා (19 වැනිදා) ආරම්භ වේ. එදින පස්වරු 4.30 ට සුගතදාස පිටියේ දී පැවැත්වෙන කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම හා වෙන්නප්පුව ‘නිව් යංග්ස්’ කණ්ඩායම අතර තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ වේ.

සෑම කණ්ඩායමකටම සියලු ප්‍රතිවාදීන් මුණගැසෙන පරිදි තරග 45 කින් සමන්විත මෙම  පාපන්දු තරගාවලිය අගෝස්තු 8 වැනිදා නිමාවට පත්වේ. තරගාවලියේ
සම්පූර්ණ තරග කාලසටහන මේ වනවිටත් එළි දක්වා තිබේ.  එහිදී කණ්ඩායමක් තරග නවයකට මුහුණදීමට සිදුවේ.

වෘත්තීය මට්ටමින් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ පළමු පාපන්දු තරගාවලිය ඇරඹීම සඳහා අන්තර්ජාතික පාපන්දු සමුළුව ලබා දුන් අනුග්‍රහය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ අළුත්ම හැරවුම බවට පත් වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසිීය. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා එක් වෙමින් සම්බන්ධීකරණ කටයුතු මෙහෙය වූ පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පැවසූයේ ශ්‍රී ලංකා පාපන්දු සුපර් ලීග් තරගාවලිය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා තමන්ට වසර තුනක් තිස්සේ වෙහෙසීමට සිදුවූ බවයි.

තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය කැපී පෙනෙන අතර එහිදී ගුවන් හමුදා කණ්ඩායම හැරෙන්නට සෙසු කණ්ඩායම් 9 ටම විදේශීය ක්‍රීඩකයෝ ක්‍රීඩා කරති.  එහිදී කොන්දේසියක් වන්නේ එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය උපරිම තුනකට සීමා කිරීමයි.  මෙම  ක්‍රීඩකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු ආසියානු රටක නොවන ක්‍රීඩකයන් වීම අනිවාර්ය වේ.

සුපර් ලීග් තරගාවලිය සඳහාම පාපන්දු සම්මේලනය ‘මෙහෙයුම් කමිටුවක්’ ස්ථාපිත කර තිබේ. පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් ඇතුළු විධායක සභිකයන් ගණනාවක් එහි කටයුතු කරති.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලිය සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් වසර තුනක් සඳහා අනුමත කර තිබේ. ඉන් ඩොලර් ලක්ෂයක මුදලක් මේ වන විට මුදා හැර තිබේ.

සම්පූර්ණ තරගාවලිය යූ-ටියුබ් ඔස්සේ ශ්‍රී ලංකා ෆුට්බෝල් නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බව පාපන්දු සම්මේලනය පවසයි.

සියලු තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට සීමා කරමින් පැවැත්වීමේ දී කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නරඹන්නන්ට ක්‍රීඩාගාරයට ඇතුළුවීම තහනම් කිරීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.  කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව පාපන්දු සම්මේලනය පැවැත්වූ ‘සභාපති’ කුසලාන තරගාවලිය මෙන්ම සුපර්ලීග් පෙර සූදානම් තරග වටය පැවැත් වූයේ ද නරඹන්නන්ගෙන් තොරවය.

වසර සියයක් සපිරූ ශ්‍රී ලංකාවේ එකම පාපන්දු ක්‍රීඩා සමාජය වන එෆ්.ඒ. කුසලාන අනු ශූරයන් ද වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙම තරගාවලියට සහභාගිවීමට දැරූ උත්සාහය අසාර්ථක වූයේ තරගාවලියේ කොන්දේසි සපිරීමට ඔවුන් අසමත්වීම නිසා  බව පාපන්දු සම්මේලනය පවසයි.

 

පළමු ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
ගුවන් හමුදාව (බ්ලූ ඊගල්ස්), කළුතර බ්ලූ ස්ටාර්ස්, කොළඹ ක්‍රී.සමාජය, යුද හමුදාව (ඩිෆෙන්ඩර්ස්), වෙන්නප්පුව නිව්යංග්ස්, රත්නම්ස්, බේරුවල රෙඩ්ස්ටාර්, රිනවුන්, නාවික හමුදාව (සී හෝක්ස්) සහ නාවලපිටිය අප් කන්ට්‍රි ලයන්ස්,


තරගාවලියේ ප්‍රදානය කෙරෙන ත්‍යාග
ශූරතාව - රුපියල් ලක්ෂ 50 යි  
අනු ශූරතාව - රුපියල් ලක්ෂ 35 යි
තෙවැනි ස්ථානය - රුපියල් ලක්ෂ 27.5 යි
4 වැනි ස්ථානය -  රුපියල් ලක්ෂ 25 යි
5 වැනි ස්ථානය - රුපියල් ලක්ෂ 22.5,
6 වැනි ස්ථානය - රුපියල් ලක්ෂ 20 යි
7 වැනි ස්ථානය - රුපියල් ලක්ෂ 17.5 යි
8 වැනි ස්ථානය - රුපියල් ලක්ෂ 15 යි
9 වැනි ස්ථානය -  රුපියල් ලක්ෂ 12.5
10 වැනි ස්ථානය - රුපියල් ලක්ෂ  10 යි.


ආසන්නතම තරග
අප්‍රේල් 19 වැනිදා
පස්වරු 4.30:- කොළඹ - නිව්යංග්ස් අතර
පස්වරු 7.30:- බ්ලූස්ටාර්ස් - රෙඩ්ස්ටාර්ස් අතර

අප්‍රේල් 20 වැනිදා
පස්වරු 4.30:- රිනවුන් - ඩිෆෙන්ඩර්ස් අතර
පස්වරු 7.30:- බ්ලූ ඊගල්ස් - සීහෝක්ස් අතර

පාපන්දු තරග වඩාත් නිවැරැදි විනිසුරු තීරණ ලබාගැනීමට යොදා ගන්නා මෙම සන්නිවේදන උපකරණ පාපන්දු සම්මේලනය තරගාවලියකට නිල වශයෙන් යොදා ගන්නා පළමු අවස්ථාව මෙයයි. මෙම උපකරණ කට්ටලයක වටිනාකම මිලියන දෙකක් පමණ වේ.

 


අදහස් (0)

කෝටි 3 ක සල්ලි මල්ලක් හොල්ලන ශ්‍රී ලංකා සුපර් ලීග් තරග සඳුදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.