Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා කණ්ඩායම තුර්ක්මෙනිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම තුර්ක්මෙනිස්ථානයට

නාමල් පතිරගේ - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(තුර්ක්මෙනිස්ථානයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම)

වසර 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ පාපන්දු තරගයක් වන තුර්ක්මේනිස්ථානයට එරෙහිව තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අද (17) අලුයම තුර්ක්මෙනිස්ථානයේ ඇස්ගාබට් නුවර බලා පිටත්ව ගියේය.

මොහොමඞ් ෆසාල්ගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ක්‍රීඩකයන් 23 දෙනෙකු හා නිලධාරින් 10 දෙනෙකුගෙන් සමන්විතය. දෙරට අතර මෙම තරගය හෙට (19) ඇස්ගාබට් නුවර ‘කොපෙට්ඩෑග්’ ක්‍රීඩාංගණයේදී ඇස්ගාබට් නුවර වේලාවෙන් පස්වරු 4 ට ආරම්භ වේ.

වසර 2022 දී කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප සුදුසුකම් තේරීමේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව සහ තුර්ක්මෙනිස්ථානය මුණ ගැසෙන දෙවනි අවස්ථාව මෙයයි. පසුගිය සැප්තැම්බර් 5 වැනිදා කොළඹදී පැවති පළමු තරගයෙන් තුර්ක්මෙනිස්ථානය ගෝල 2-0  ජයක් ලැබීය.

වර්තමානයේදී අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාව 203 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. එම ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රතිවාදී තුර්ක්මෙනිස්ථානය පසුවන්නේ 133 වැනි ස්ථානයේයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් වලද පෙන්වන්නේ පහළ වැටීමකි.  වසර 2018 දී තරම් ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීමේදී පසුවූයේ 127 වනි ස්ථානයේය.

ජර්මනියේ තෙවැනි පෙළ ලීග් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය ක්‍රීඩාකරන වසීම් රක්ෂික්ද මෙම තරගයේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ආරාධනාවක් අනුව ඔහු මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ තරගාවලියේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගිවූ සියලුම තරග පරාජයට පත්ව සිටියි. එහිදී ගෝල 1-0 කට උතුරු කොරියාවට පරාජයවීම ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන් හමුවේ මුහුණදුන් තියුණුම තරගය ලෙස හැඳින්විය හැකිය.

දකුණු කොරියාවට ගෝල 8-0 කින්ද, ලෙබනනය හමුවේ ගෝල 3-0 කින්ද එහිදී ශ්‍රී ලංකාව ආසියානු කලාප දෙවැනි වටයේ සෙසු තරගවලදී පරාජයට පත්විය. මෙම තරග වටයේදී ප්‍රතිවාදීන් එකිනෙකාට එරෙහිව දෙරටේදීම තරග දෙකකට බැගින් සහභාගි වෙයි.

ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව ලබන (2020) මාර්තු 26 වැනිදා “ෆියෑන්ග්ජියෑන්ග්” නුවරදීත් දකුණු කොරියාවට එරෙහිව මාර්තු 31වැනිදා කොළඹදීත් ජූනි 4 වැනිදා ලෙබනනයට එරෙහිව බීරූට් නුවරදීත් ශ්‍රි ලංකා කණ්ඩායම තවත් තරග තුනකට සහභාගි වේ.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයට පිවිසියේ මැකාවෝ රාජ්‍යයට එරෙහිව ගෝල 3-0 ක ප්‍රදානය කළ (නිතරග) ජයකිනි. ඊට හේතුවූයේ කොළඹදී පසුගිය ජුනි 11 වැනිදා පැවැත්වීමට යොදාගෙන තිබු දෙරට අතර පළමු තරගයට ආරක්ෂක හේතුමත මැකාවෝ රාජ්‍යය කණ්ඩායම සහභාගි නොවීමෙනි. එහෙත් ජූනි 6වැනිදා ‎චීනයේ සුහායි නුවරදී පැවති තරගය මැකාවෝ ගෝල 1-0 කට ජයගත්තේය.

ඒ අනුව ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව තරග අටකට සහභාගි වේ. මේ වන විට ශ්‍රී ලංකාව ඉන් තරග හතරකදීම පරාජයට පත්ව තිබෙන බැවින් ඔවුන්ට ආසියානු කලාප තෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව වඩාත්ම අවම තත්ත්වයකට පත්ව තිබේ.

වසර 2019 මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග නවයකට මෙතෙක් සහභාගි වී ඉන් එක් තරගයකින් නිතරග ජයක් ලබා තිබෙන අතර ලාඕසය සමග එක් තරගයක් (2-1) ජයගෙන තිබේ. සෙසු සියලුම තරග පරාජයට පත්ව තිබේ.

2022 ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේදී ‘එච්’ කාණ්ඩයේ තරග වදින ශ්‍රී ලංකාව මෙතෙක් අත්කරගත් තරග ප්‍රතිඵල හමුවේ එහි රටවල් පහ අතර පසුවන්නේ අවසන් ස්ථානයේය. ඔවුන් එහිදී කිසිදු ප්‍රසාද ලකුණක් ලබාගැනීමට සමත්ව නැත.

මෙහි පෙරමුණේ පසුවන දකුණු කොරියානුවෝ මේ වන විට මුහුණදුන් තරග හතරෙන් දෙකක් ජය ලබා සෙසු තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් කර ප්‍රසාද ලකුණු 8 ක් ලබාසිටියි.

ආසියානු කලාපයේ රටවල් 40 ක් අතරේ කාණ්ඩ අටකට බෙදා පැවැත්වෙන දෙවැනි වටයේ කාණ්ඩ ජයග්‍රහනයක් හා අනුශූර කණ්ඩායම් 16 ක් වසර 2020 සැප්තැම්බර් 3 වැනිදා ඇරඹෙන ලෝක කුසලාන (2022) ආසියානු කලාප තෙවැනි වටයට හා ආසියානු කුසලාන (2023 ජනවාරි) තරගාවලියට නිර්දේශ වෙයි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රූම් පකීර් අලි මහතා පසුගිය පෙබරවාරි මාසයේ සිට එම ධුරයේ කටයුතු කරයි. තුර්ක්මෙනිස්ථානය එරෙහිව තරග වැදීමෙන් පසුව ශ්‍රී ලංකාව ඊළඟ ආසන්නතම ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට සහභාගිවන්නේ ලබන දෙසැම්බර් 1 වැනිදා ආරම්භ වන 13වැනි සාග් ක්‍රීඩා උළෙලටය.

එදිනම ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය ආරම්භවන අතර ඒ සඳහා ශ්‍රී ලංකා වයස 23 න් පහළ පාපන්දු කණ්ඩායම මෙම 26 වැනිදා වන විට නේපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත්ව යාමට සූදානමින් සිටියි.

තුර්ක්මෙනිස්ථානයට එරෙහිව තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් අට දෙනෙකු පමණ සාග් තරග සංචාරයෙන් ඉවතට යන අතර ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයන් අට දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කෙරේ.

අවසන් වරට වසර 2016 දී ඉන්දියාවේ පැවති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පාපන්දු ක්‍රීඩාවෙන් කිසිදු පදක්කමක් දිනාගැනීමට අපොහොසත්විය. මෙම තරග සංචාරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නිත්‍ය කළමනාකරු ලෙස හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු සුනිල් සේනවීර මහතා කටයුතු කරයි.

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම තුර්ක්මෙනිස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.