Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 35 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 35 ක ජයක්

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ස්කොට්ලන්තයට එරෙහිව එඩින්බරෝහිදී පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අද (21 වැනිදා) සමත් විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් ලකුණු 34 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.

ස්කොට්ලන්ත ඉනිමේ 27 වැනි ඕවරය නිමාවීමත් සමග වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදුවිය. වර්ෂාව අවසන් වී නැවත තරගය ආරම්භ කරන විට ස්කොට්ලන්ත ඉනිම ඕවර 34 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක නව ඉලක්කයක් හිමිවිය.

තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි ස්කොට්ලන්ත කණ්ඩායමට නැවත තරගය ආරම්භ වීමෙන් අනතරුව පන්දු 42 කදී ලකුණු 103 ක් රැස්කිරීමට සිදු වූ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජෝජ් මුන්සේ පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 61 රැස්කිරීමට සමත් විය. කෙසේ වුවත් නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් මුන්සේට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ ආරම්භක මැතිව් කෘස්ගේ (55) ඉනිම නිමා කිරීමට සුරංග ලක්මාල් සමත් වූ අතර අවිෂ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 71 කට මුහුණදී සිටි කෘස්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත්ව තිබිණ. නායක කයිල් කොයෙට්සර් (34) සමග එක්ව ස්කොට්ලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෘස් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් ලබාගත් අතර  හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු තිරිමාන්න හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න (77) සහ අවිෂ්ක ප්‍රනාන්දු (78) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 123 ක සම්බනධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 88 කදී වාර්තා වූ දිමුත්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 78 කදී වාර්තා වූ අවිෂ්කගේ මංගල එක්දින අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

මයිකල් ලීසක්ගේ පන්දුවක් හමුවේ ජෝජ් මුන්සේ අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. එතැන් පටන් කුසල් මෙන්ඩිස් සමග එක් වූ දිමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. පන්දු 49 කට මුහුණදුන් මෙන්ඩිස් සිය 14 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සැරසීය.

පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලබා සිව්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා, මුහුණදුන් පළමු පන්දුවේදීම කඩුලු රකින ක්‍රීඩක මැතිව් කෘස් අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීනතම පිතිකරුවා ලෙස හැදින්විය හැකි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ටද පන්දු 10 කදී රැස්කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි.

පසුපෙළ පිතිකරුවන් වූ ජීවන් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 13 ක්ද, ඉසුරු උදාන හයේ පහර 2 ක් සමග ලකුණු 15 ක්ද, සුරංග ලක්මාල් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 12 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායක වූහ. 

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටි අතර තරගය ආරම්භයේ සිටම ස්කොට්ලන්ත පන්දු රකින්නන් දුර්වල පන්දු රැකීමක නිරත වන ආකාරය දැකබලාගත හැකි විය. එහිදී ඔවුන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිළිහී ගිය අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.

-036  


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 35 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.