Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ ජයක්
සජීවී විචාරය

ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ ජයක්

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වනිඳු හසරංග, ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදුවේය.

ලකුණු 52 ක් ලබා දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි හාරිස් සොහේල්, 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදී පිටියෙන් ඉවත් කළ වනිඳු ඉන් නොනැවතී, 18 වැනි ඕවරයේ පළමු සහ අවසන් පන්දුවලදී පිළිවෙලින් අසීෆ් අලී (1) සහ නායක සර්ෆරාස් අහමඞ් (17) දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජය මඟ අවහිර කළේය.

-------------------------------------------------------------------------------------------------------------

හාරිස් සොහේල් වේගවත් පිතිහරඹයක

ඕවර 15 ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 94 ක් ලබා ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 54 ක් පසුපසින් සිටියේය. ඒ වන විට හාරිස් සොහේල් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග සමග ලකුණු 52 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

බාබර් අසාම් (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සොහේල් සමත් විය. ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් අසාම් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

-------------------------------------------------------------------------------------------------------------

බාබර් - සොහේල් සාර්ථක හඹායෑමක

බාබර් අසාම්ගේ (නොදැවී 23) සහ හාරිස් සොහේල්ගේ (නොදැවී 37) දක්ෂ පිතිහරඹය හමුවේ ඕවර 10 ක් නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 63 කි.

දෙවැනි ඕවර 5 තුළදී ලකුණු 37 ක් රැස්කළ බාබර් සහ සොහේල් එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුල්ලක් ලබාගැනීමට අවස්ථාවක් නොදුන්හ.

ඕවර 10 ක් අවසානයේ පන්දු 27 කට මුහුණදී සිටි බාබර්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වී තිබූ අතර පන්දු 32 කට මුහුණදී සිටි සොහේල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත වී තිබිණ.

-------------------------------------------------------------------------------------------------------------

පළමු පන්දුවේදීම ෆකාර් දැවී යයි

පළමු ඕවර 5 අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 26 ක් ලබා සිටියේය. පාකිස්තාන ඉනිමේ පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ කඩුල්ල බිඳ දැමීමට කසුන් රාජිත සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ රාජිත ඕවර දෙකක් යවමින් එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 2 ක් පමණක් ලබාදුන්නේය. සිය පළමු ඕවර ලකුණු 3 කට සීමා කිරීමට ළහිරු කුමාර සමත් වූ අතර ළහිරු මධුෂංකගේ ඕවරයද ලකුණු 6 කට සීමා විය.

කෙසේ වුවත් ධනුෂ්ක ගුණතිලක යැවූ ඕවරයකදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් රැස්කිරීමට බාබර් අසාම් (නොදැවී 11) සහ හාරිස් සොහේල් (15) සමත් වූහ.

-------------------------------------------------------------------------------------------------------------

පාකිස්තානයට ලකුණු 147 ක ඉලක්කයක්

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තේය. එහිදී සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස්කළේය.

ලකුණු 58 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී නායක දසුන් ශානක (12) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕෂධ සමත් විය. වහබ් රියාස්ගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ෆකාර් සමාන් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේදී වනිඳු හසරංග (6) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට උස්මාන් ෂින්වරි සමත් වූ අතර ළහිරු මධුෂංක එක් ලකුණකට දැවී ගියේ මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ ඉෆ්තිකාර් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමිනි.

-------------------------------------------------------------------------------------------------------------

ඕෂධ - දසුන් සාර්ථක සම්බන්ධතාවක

ඕවර 15 ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය. ඒ වන විට ඕෂධ ප්‍රනාන්දු පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 49 ක්ද, දසුන් ශානක පන්දු 18 කදී ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ 11 වැනි ඕවරයත්, 15 වැනි ඕවරයත් අතර ඕවර 5 තුළදී පාකිස්තාන පිතිකරුවන්ට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් නොදුන් ඕෂධ සහ දසුන් එහිදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වූහ.

ඉනිමේ 15 වැනි ඕවරය නිමා වන විට ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 46 කි.

-------------------------------------------------------------------------------------------------------------

ඕෂධ ප්‍රනාන්දු සාර්ථක පිතිහරඹයක

ඕවර 10 ක් නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටි අතර ඒ අතර ඒ වන විට සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 28 ක් ලබා සිටියේය.

තමා මුහුණදුන් පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ ඕෂධ, දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් නරඹන්නන් කුල්මත් කළේය. එම හයේ සහ හතරේ පහර එල්ල කළ උස්මාන් ෂින්වරිගේ මීළඟ ඕවරයේ පළමු පන්දු දෙකකද හතරේ සීමාව කරා යැවීමට ඕෂධ සමත් විය.

දෙවැනි ඕවර 5 තුළ ප්‍රතිවාදීන්ට එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින් ලකුණු 44 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. ලකුණු 11 ක් ලබා සිටි ඇන්ජලෝ පෙරේරා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඉෆ්තිකාර් අහමඞ් සහ සර්ෆරාස් අහමඞ් සමත් වීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ලත් බිඳවැටිණ.

 

පාකිස්තාන පන්දු යවන්නෝ වැඩ අල්ලති

මුල් ඕවර 5 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳ වැටී අසීරු තත්වයකට පත්ව සිටියේය. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට පත්කළ මොහොමඞ් අමීර් ඕවර 2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් විය.

පළමු ඕවර 2 තුළදී කඩුල්ලක් ලබා නොදී ලකුණු 19 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සමත් වූහ. එහෙත් තෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ලකුණු 8 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල බිඳ දැමීමට මොහොමඞ් අමීර් සමත් විය.

සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවේදී සධීර සමර වික්‍රම ලකුණු 12 කට දැවී ගියේ ඉමාඞ් වසීම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. හසරේ සීමාව අසලදී අසීෆ් අලී රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් භානුක රාජපක්ෂගේ ඉනිමද ලකුණු 3 කට සීමා විය.

-------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් පහක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 5 ක් සිදුකර ඇති අතර මුල් තරග දෙකට ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් වෙනුවට සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු මධුෂංක සහ ළහිරු කුමාර කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

පාකිස්තාන කණ්ඩායම වෙනස්කම් තුනක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී අහමඞ් ශේෂාඞ්, උමාර් අක්මාල් සහ මොහොමඞ් හස්නයින් වෙනුවට හාරිස් සොහේල්, ඉෆ්තිකාර් අහමඞ් සහ උස්මාන් ෂින්වරි කණ්ඩායමට කැඳවා සිටිති.


ශ්‍රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ළහිරු මධුෂංක, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත සහ ළහිරු කුමාර

පාකිස්තාන කණ්ඩායම
සර්ෆරාස් අහමඞ් (නායක), ෆකාර් සමාන්, බාබර් අසාම්, හාරිස් සොහේල්, අසීෆ් අලී, ඉෆ්කාර් අහමඞ්, ඉමාඩඞ් වසීම්, ශඩාබ් ඛාන්, වහබ් රියාස්, මොහොමඞ් අමීර් සහ උස්මාන් ෂින්වරි

- 036


අදහස් (1)

ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ ජයක්
  • Sugath Thursday, 10 October 2019 04:18 AM

    ඔබේ උත්සාහය සහ කැපවීම මැනවින් ඉටු කරන ලදී.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.