Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විශිෂ්ට ශතකයකින් අවිශ්ක ආගමනය තහවුරු කරයි

විශිෂ්ට ශතකයකින් අවිශ්ක ආගමනය තහවුරු කරයි

editorial - 2019 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

පෙනෙන සියලු දේ තමන්ගේ අවාසියට තිබුණත් එකම ආරක්‍ෂාව ආක්‍රමණය යයි වටහාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කොදෙව් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් අත්කර ගත්හ. ජයග්‍රහණයේ නිර්මාණකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට ශතකයක් ලබාගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිය ආගමනය තහවුරු කළේය.

එන එන පන්දුවට රිසිසේ පහර දෙමින් ලකුණු හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබාගත්හ. ඊට පිළිතුරු වශයෙන් කොදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් පමණි.

ඉහළ ඉලක්කයක් අබිමුව සිටියදී කොදෙව් පිලේ කඩුලු 4 ක් ලකුණු 84 කට ඇද වැටිණ. එහෙත් පසුපස බැලුවේ පූරන් නොවේ. නායක ජේසන් හෝල්ඩර් සමග එක්ව ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පූරන් අනතුරුව ෆේබියන් ඇලන් සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක් එක්කළේය. ලකුණක් ලබාගැනීම සඳහා දිවයාමේදී ඇති වූ වැරදි අවබෝධයක් හේතුවෙන් ෆේබියන් ඇලන් දුවද්දී දැවී යාම කොදෙව් ගමන වෙනස් කළ සාධකය විය.

ඇලන් දැවී නොගියා නම් නිකලස් පූරන් පිටිය මැද තනි නොවේ. ෆේබියන් ඇලන් දැවී යාමෙන් පසුව පැමිණි ෂෙල්ඩන් කොට්රල් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි වූ හෙයින් තනිවම ලකුණු ලබාගැනීම පූරන්ගේ උපාය විය.

තරගය නිමා වීමට ඕවර 3 ක් තිබියදී පන්දුව අතට ගත් ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලාන තරගාවලියේ යැවූ පළමු පන්දුවෙන්ම පූරන් දවාගත් හෙයින් කොදෙව්වන්ගේ බලාපොරොත්තු සීසීකඩව ගියේය. පන්දු 18 කින් ලකුණු 31 ක් අවශ්‍යව තිබූ මොහොතක මැතිව්ස් විසින් යවන ලද ඕවරයේදී සිය ශතකයක් ලබාගත් පිතිකරුවා ද අහිමි කරගත් කොදෙව්වන්ට ලබාගත හැකිවූයේ ලකුණු 3 ක් පමණකි. ඊළඟ ඕවරයේදී ලසිත් මාලිංග විසින් ඔෂේන් තෝමස් දවාගනු ලැබීමත් සමගම කොදෙව්වෝ උත්සාහය අතහැර දැමූහ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට තමන්ට අවස්ථාව ඇතැයි තහවුරු කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 103 කින් ලකුණු 104 ක් ලබාගත්තේ ජගත් ක්‍රිකට් විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර වෙමිනි.

අලංකාර පහර වැලකින් චෙස්ටර් ලී ස්ට්‍රීට් නරඹන්නන් පිනවූ අවිශ්ක 43 වැනි ඕවරයේදී ෂෙල්ඩන් කොට්රල්ට ගැසූ දැවැන්ත හයේ පහර අද දවසේ ‘රිවර් සයිඞ්’ ක්‍රීඩාංගණයට රැස්වූ පිරිසට කලකට අමතක නොවනු නිසැකය. එහෙත් ඔහුගේ වඩාත්ම අලංකාර පහර වූයේ ශතකය ලබාගැනීමෙන් පසුව ගැසූ ෆ්ලික් පහරයි.

කොදෙව් පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ අවිශ්ක, හතරේ පහර 9 කින් සහ හයේ පහර දෙකක්ද සහිතව,  පන්දු 100 කදී සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කළේ ලෝක කුසලාන තරගකදී ශතකයක් ලබාගත් තුන්වැනි ලාබාළතම පිතිකරුවාද ලෙසිනි. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ක්‍රීඩා කළ පෝල් ස්ටර්ලින් (අවුරුදු 20, දින 196) සහ ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං (අවුරුදු 21 දින 76) ලෝක කුසලාන ශතක ලබාගත් ළාබාලතම පිතිකරුවෝ වෙති. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි මෙම පිතිකරුවා ලෝක කුසලාන ශතකය ලබාගන්නා විට වයස අවුරුදු 21 දින 87 කි.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා දෙදෙනාගෙන් ශ්‍රී ලංකා පිලට කදිම ආරම්භයක් ලැබිණ. පන්දු 92 කින් ලකුණු 93 ක් පුවරුවට එකතු කළ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් දිමත් කරුණාරත්න පළමුවෙන් දැවී ගිය නමුත් කුසල් පෙරේරා දිගටම නරඹන්නන් පිනවීමේ කාර්යයේ නිරත විය. පන්දු 51 කින් ලකුණු 64 ක් ලබාගත් කුසල් පෙරේරාගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ.

මොරටු පුතුන් දෙදෙනා වන අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා අතර පැවති ලකුණු 84 ක සම්බන්ධතාව වෙනුවෙන් වැයවූයේ පන්දු 82 කි. අමතකව තිබූ පහර යළි මතක් කරගත් කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු යැවූ ෆේබියන් ඇලන්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමකිනි. පිත්තටම ලැබුණු පන්දුව පන්දු යවන්නාත් මිඞ් ඕන් ක්‍රීඩකයාත් අතර තිබූ පරතරයෙන් යැවීමට ගත් උත්සාහයේදී පන්දුව එන රේඛාව හරහට පැන්න ෆේබියන් ඇලන් උකුස්සෙකු සිය ගොදුර ඩැහැගන්නාක් මෙන් උඩපන්දුව රැකගත්තේය.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පිලට ඇත්තේ බොහෝ දුරස්ථ අවස්ථාවකි. ඒ සඳහා එංගලන්තය නවසීලන්ත කණ්ඩායම හමුවේ විශාල පරාජයක් ලැබිය යුතුවාක් මෙන්ම බංග්ලාදේශයද ඉතිරි තරග දෙකින් එකක් පරාජය විය යුතුය. අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම ලබන සෙනසුරාදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ද විශාල ලකුණු පරතරයකින් ජයගත යුතුව තිබේ.

අද තරගයේ ප්‍රතිඵලය කුමක් වූවද ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව කොදෙව් පිලට හිමි නොවේ.

..


අදහස් (1)

විශිෂ්ට ශතකයකින් අවිශ්ක ආගමනය තහවුරු කරයි
  • Udarath Tuesday, 02 July 2019 08:30 AM

    විශිෂ්ඨයි ....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.