Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන දිනයි

බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන දිනයි

editorial - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැති 13 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ අද (09) සමත් වූහ. ඉන්දියානු යොවුන් පිලට අනු ශූරතාව හිමිවිය.

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලියක ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

සිවුවරක් යොවුන් ලෝක ශූරතාව දිනා සිටින ඉන්දියාවට අනු ශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

පොචෙස්ට්‍රෝම් නුවරදී අද පැවැති යොවුන් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු තුනකින් (ඩක්වත් ලුවිස් න්‍යායට) ඉන්දියාව පරාජය කළේය.

බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 170 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 42.1 කදී කඩුලු 7 ක් දැවී සම්පූර්ණ කළහ.

බංග්ලාදේශ ඉනිමේ 41 වැනි ඕවරයේදී වර්ෂාව ඇදහැළෙන විට බංග්ලාදේශ පිල කඩුලු 7ක් දැවී ලකුණු 163 ක් රැස්කර සිටියේය. නැවත තරගය ආරම්භයේදී බංග්ලාදේශයට ඕවර 46 කදී ලකුණු 170 ක ඉලක්කයක් හිමිවිය.

බංග්ලාදේශ පිල ලකුණු 85 කට කඩුලු 5ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී නායක අක්බාර් අලී අන්තයක් ආරක්‍ෂා කරගනිමින් ජයග්‍රහණය දක්වා කණ්ඩායම මෙහෙයවීම කැපී පෙනුණි. අක්බාර් අලී  පන්දු 77 කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස්කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරු පර්විෂ් හොසේන් පන්දු 79 කින් රැස්කළ ලකුණු 47 ද බංග්ලාදේශ ජයග්‍රහණයේ සන්ධිස්ථානයක් බවට පත්විය.

ප්‍රතිවාදීන්ගේ සියලු සැලසුම් සීසීකඩ විසුරුවා යැවූ බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නෝ ඉන්දීය යොවුන් පිලේ ඉනිම ලකුණු 177 කට සීමා කළහ.

ඉන්දීය යොවුන් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් හත්වැනි අවස්ථාව මෙය වූවත් බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් එකම අවස්ථාව මෙයයි.

ආරම්භයේදී තරමක් මන්දගාමී වූ නමුත් 39 වැනි ඕවරයේදී ලකුණු 150 සීමාව පසුකරන විට ඉන්දියානුවන් අත කඩුලු 7 ක් තිබිණ. එහෙත් ඉන්දීය පිලේ අවසන් කඩුලු හතම ලකුණු 21 ක් තුළදී බිම දැමූ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ බලාපොරොත්තු රහිත ලොවක ඉන්දියානුවන් අතරමං කළහ.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක අක්බර් අලී පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

“ඊයේ රාත්‍රියේ වැස්ස ටිකක් තිබුණා.. ඒ නිසා අපි වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක තරගයට එනවා... අපි හිතනවා මේ තත්ත්වයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා” යයිද කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව අක්බර් අලී පැවසීය.

බංග්ලාදේශ වේග පන්දු යවන්නන් හමුවේ ඉතාමත් ප්‍රවේසම් වූ ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පළමු ඕවර 5 දී ලබාගත්තේ ලකුණු 7 ක් පමණි. 100 වැනි ලකුණු පුවරුවට එක්වන විට ඉන්දීය යොවුන් පිතිකරුවෝ පන්දු 170 කට මුහුණ දී සිටියහ.

කඩුලු ආරක්‍ෂා කරගැනීමේ උපක්‍රමයක් අනුගමනය කළද 30 වැනි ඕවරය ආසන්න වෙත්ම ලකුණු වේගය මඳ බව වටහාගත් ඔවුන් එතැන් සිට 150 වැනි ලකුණ ලබාගැනීම සඳහා මුහුණ දුන්නේ පන්දු 58 කට පමණි. මේ අතරවාරයේදී තිලක් වර්මා සහ ප්‍රියාම් ගාර්ග් දැවී ගියත් ආරම්භක පිතිකරු යයස්වී ජායිස්වාල් සිය කඩුල්ල රැකගෙන සිටියේය.

ඉන්දීය ඉනිමෙ විනශය ආරම්භ වූයේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ටැන්සිඞ් හසන්ට උඩපන්දුවක් දෙමින් යසස්වී ජයිස්වාල් දැවී යාමෙනි. පන්දු 121 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහරක්ද සමගින් ලකුණු 88 ක් ලබා සිටි ජයිස්වාල්ගේ දැවී යාමත් ඉන්දීය ඉනිමේ නිමාවත් අතර තිබුණේ ඕවර 7.2 ක් හෙවත් පන්දු 45 ක් පමණි. ඒ අතරවාරයේදී ඉන්දීය ඉනිමට එක්වූයේ ලකුණු 21 කි.

ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලකුණු 9 දී දැවී ගියේය. එහෙත් යශස්වී සමග එක්වූ අංක 3 පිතිකරු තිලක් වර්මා ලකුණු සංඛ්‍යාව 103 දක්වා ඉහළ දැමීය.

වර්මා පන්දුවට පහර දීමට පැමිණි විගසම ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයේදී මිඞ් ඕන්හි සිටි ක්‍රීඩකයා කඩුල්ලට පන්දුව දමාගැසීය. එහෙත් එය වැදුණේ කඩුල්ලේ නොව දිව යමින් සිටි පිතිකරුවාගේ පා ආවරණයට ඉහළිනි. පන්දුව වැදීමෙන් වේදනාවට පත් වර්මා බිම ඇද වැටුණ නමුත් පසුව වේදනා නාශක ප්‍රතිකාර ලබා තරගයට අවතීර්ණ විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 94 ක සම්බන්ධතාව නිසා ඉන්දීය ඉනිම පිළිසකර වූවත් පසුපෙළ පිතිකරුවන්ගේ කලබලකාරී පිතිහරඹය හේතුවෙන් අවසන් කඩුලු හතම ලකුණු 21 ක් තුළදී ඇද වැටිණ.

බංග්ලාදේශ යොවුන් පිලේ පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු වන නවීඞ් නවාස් මහතා කටයුතු කරයි. අවසන් මහ තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතාය.


ඉන්දීය යොවුන් පිල ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 177
(යශස්වී ජයිස්වාල් 88, තිලක් වර්මා 38, දුර්වි චාන්ද් ජුරේල් 22, ෂොරිෆුල් ඉස්ලාම් 31/2, ටැන්සිම් හසන් සකීබ් 28/2, අවිශේක් දාස් 40/3)

බංග්ලාදේශ යොවුන් පිල ඕවර 42.1 කදී 7 ක් දැවී 170
(පර්විෂ් හොසේන් 47, ටන්ෂිද් හසන් 17, අක්බාර් අලී නොදැවී 43, රවී බිෂ්නෝයි 30/4, සුෂාන්ට් මිෂ්රා 25/2)

 

- 048


අදහස් (1)

බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන දිනයි
  • Ajantha Sunday, 09 February 2020 06:08 PM

    දිනුව අය ගැන සතුටක් නෑ. අපේ අය ගැන ගොඩක් දුකයි.....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.