Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පීඩනය ක්‍රීඩකයන් වෙතටම

පීඩනය ක්‍රීඩකයන් වෙතටම

editorial - 2019 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට..)

පමා වී හෝ අවශ්‍ය දේ සිදුවෙමින් පවතී.

පීඩනය ක්‍රීඩකයන් වෙතටම එල්ල වී තිබේ. පීඩනය නැති විට සරුංගල් යවමින් සිටි ක්‍රීඩකයෝ පීඩනය ඇති විට වගකීම කරට අරගෙන ක්‍රීඩා කරති.

වසරක කාලයක් විස්සයි-20 තරගයක් ජයගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගය පරාජය වූවත් ඒ වෙනුවෙන් හොඳ සටනක් දුන්නේය. ලකුණු 174 ක් ලබාගැනීම සඳහා කඩුලු 4 ක් පමණක් දුන් ශ්‍රී ලංකා පිල එම ලකුණු 174 ආරක්‍ෂා කරගැනීමට අවසන් ඕවරය දක්වාම සටන් කළේය.

“අපි කලින් ක්‍රීඩා කළාට වඩා හොඳ තත්ත්වයකින් ඉන්නවා” යයි තරගයෙන් පසුව කුසල් මෙන්ඩිස් කීවේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරය තුළ ඇති වාතාවරණය සම්බන්ධයෙන් පැහැදිළි වැටහීමකින් යුතුවය.

පසුගිය වසර දෙකක පමණ කාලයේදී ක්‍රීඩකයන් පුහුණුවීම් කළේ තමන්ට අවශ්‍ය නම් පමණි. නායකයෝ ඒ සඳහා ක්‍රීඩකයන්ට අවසර දී තිබිණ. එහෙත් දැන් ඒ සෙල්ලම් බැරිය. සියලු දෙනාම පුහුණු වීම් සඳහා යා යුතුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණු සැසිය පැවැත්වෙන 5 වැනිදා පුහුණුවීම් පැවැත්වෙන්නේ අවශ්‍ය ක්‍රීඩකයන්ට පමණක් නොවේ. සංචිතයේ සිටින 15 දෙනාටමය.

තරගයට ක්‍රීඩා කරන 11 දෙනා අතරට රිංගා ගැනීමට බැරිව, බංකුවේ සිටින ක්‍රීඩකයෝ අවස්ථාව එනතුරු බලා සිටිති. කුසල් මෙන්ඩිස් කියන පරිදි 15 දෙනා අතරට එක්වීමට බැරිව එළියේ සිටින්නේ හොඳ දස්කම් පෙන්වූ ක්‍රීඩකයෝය. විස්සයි-20 ශ්‍රී ලංකා නායකයන් වූ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් මෙන්ම තිසර පෙරේරාත් ඔවුන් අතර සිටිති. එහෙත් මේ කිසිවකු විස්සයි-20 ක්‍රීඩාවෙන් සමුගෙන නැත. ඕනෑම අවස්ථාවක නැවතත් කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව මෙම ක්‍රීඩකයන් සතුව තවමත් තිබේ.

තත්ත්වය මෙසේ නම් බංකුවේ සිටින ක්‍රීඩකයන්ට ඇති පීඩනය ගැන කවර කතාද? එහෙත් තමන්ට තිබෙන පීඩනයෙන් මිදීමට ක්‍රීඩකයෝ කුමක් කරත්ද? ප්‍රශ්නය ඒ ගැන සොයා බැලීමට හෝ කියා දීමට කෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටීද යන්නයි.

පළමු විස්සය්ි-20 තරගයේදී ශ්‍රී ලංකා පිලෙන් ගිළිහී ගියේ එක උඩපන්දුවකි. දසුන් ශානක අතින් ඒ උඩපන්දුව ගිළිහෙන විටත් රොස් ටේලර් කරන්න ඕනෑ හරිය කර හමාරය. එහෙත් තමන් වෙත එන පන්දුව එක එල්ලේ අල්ලා නොගැනීම නිසා ප්‍රතිවාදීන්ට ලැබුණු අතිරේක ලකුණු 10 ක් පමණ නවතා ගත්තේ නම් පළමු තරගයේ ප්‍රතිඵලය පහසුවෙන්ම වෙනස් කරගත හැකිව තිබිණ.

තමන්ගේ දක්‍ෂතා වැඩිදියුණු කරගැනීමේදී වත්මන් ක්‍රීඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන් ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි. මක්නිසාද යත් පසුගිය කාලයේදී පුහුණුවීම් කරමින් සිටි ක්‍රීඩකයන් ‘වාහන තදබදය’ ඇතැයි කියමින් වේලාසනින් ගෙදර ගිය අවස්ථාද තිබුණු බැවිනි.

ඕනෑම ක්‍රීඩකයකුට නිසි උවමනාවක් ඇත්නම් තනිවම හෝ තමන්ගේ මට්ටම ඉහළ දමාගත හැකිය.
මුත්තයියා මුරලිදරන් සිය අවසන් ටෙස්ට් තරගයට දින දෙකක් තිබියදීත් පුහුණුවීම් නිමවීමෙන් පසුව පැයක කාලයක් තනි ඉලක්කයකට පන්දු යැවීය. සෙසු ක්‍රීඩකයන් පුහුණුවීම් නිමවී නවාතැන් ගත් හෝටලය ගියද මුරලිදරන් ආපසු හෝටලයට ගියේ පැයක කාලයක් තනි ඉලක්කයකට පන්දු යැවීමෙන් පසුවය.

කුමාර් සංගක්කාර නිරන්තරයෙන්ම සෑම පුහුණු සැසියකට පසුව තවත් වතාවක් පුහුණු දැළ තුළට පිවිස වැඩිපුර විනාඩි 40 ක් හෝ පැයක් පන්දුවට පහර දෙයි. තිලකරත්න ඩිල්ෂාන් දිනපතාම පුහුණුවීම් නිමවී උඩපන්දු රැකීම හෝ තනි ඉන්නට පන්දුව දමාගැසීම තනිවම පුහුණු වූයේය. ආරම්භයේදී තනි ඉන්නට පන්දුව 10 වතාවක් ගැසීමට ඩිල්ෂාන්ට පැයකට වැඩි කාලයක් ගතවූ නමුත් පසුව එය විසිකිරීම් 10 කින් 10 ම සාර්ථක වන තත්ත්වයට පැමණියේය. කාලය විනාඩි 5 කටත් අඩුය.

කැපවීමට කෙටි මං නැත. වත්මන් ක්‍රීඩකයන් ඒ බව වටහා ගන්නා තුරුම ඔවුන්ගේ ස්ථානය අවදානම් කලාපයේ තිබෙන බව පමණක් ලියා තැබිය යුතුව තිබේ.

නිරෝෂන් දික්වැල්ල ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිලේ සිටි උපනායකයෙකි. දිනේෂ් චන්දිමාල් හිටපු ටෙස්ට් නායකයාය. එහෙත් දෙදෙනාටම ලෝක කුසලාන තරගාවලිය අහිමි විය.

හිතුවක්කාර ලෙසින් ‘රිවර්ස් ස්වීප්’ පහර ගැසීමේ පුරුද්දක් තිබූ දික්වැල්ලට ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමෙන් පසු, එතෙක් නිලංකාර වී තිබූ දෑස් හොඳින් පෙනෙන්නට පටන් ගත්තේය. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී මෙන්ම කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් හොඳ ඉනිම දෙකක් ක්‍රීඩා කළ දික්වැල්ල පල්ලෙකැළේදීත් වගකීම් සහගත පිතිහරඹයකට යොමු වූයේ රිවර්ස් ස්වීප් පහර මනා අයුරින් පාලනය කරමිනි.

ඔවැනි ඖෂධ තවත් තිබේ. කලක් තිස්සේ ඒවා භාවිතා නොකළ හෙයින් ක්‍රීඩකයෝ සරුංගල් යවමින් සිටියහ. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී තිබීම යහපත් ප්‍රවණතාවකි.

විස්සයි-20 තරග වලදී කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර විවිධ මතිමතාන්තර තිබුණද එහි ඇති එක් අරමුණක් වන්නේ කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවාට වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දීමේ අවස්ථාව ලබා දීමයි. එහි අවදානමක් ඇතත් ලසිත් මාලිංග කියන පරිදිම අවදානමකට මුහුණ නොදී සාර්ථකත්වය ලබාගත නොහැකිය.

“ඒක කණ්ඩායමේ අවශ්‍යතාවක්. මාලිංග අයියාත් තේරීම් කමිටු නිලධාරීනුත් මට කිව්වේ වමත් දකුණත් සංයෝගයක් තියෙනවා නම් හොඳයි කියලයි. මොකද ඒ ගොල්ලන්ට ඉන්නේ වමතින් දඟ පන්දු යවන්නෙක් සහ දකුණතින් පා දඟ පන්දු යවන්නෙක්”

“ඒ කොහොම වුණත් ආරම්භක පිතිකරුවකු වීම මට අලුත් දෙයක් නෙමේ. මම මීට ඉස්සරත් ආරම්භක පිතිකරුවකු වශයෙන් ලකුණු ලබාගෙන තියෙනවා” යයි කී කුසල් මෙන්ඩිස්....

“පළමු පිතිකරුවන් හතර දෙනා අතර කොතැන ක්‍රීඩා කළත් ඒක මට ප්‍රශ්නයක් නෙමේ. සමහර විට මම එතැන හොඳින් ක්‍රීඩා කරනවා ඇති. ඒත් විස්සයි-20 තරග වලදී මට ආරම්භක පිතිකරුවා වෙන්න අවස්ථාව ලැබෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා” යයිද පැවසීය.

තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම සනත් ජයසූරියද සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවිය ආරම්භ කළේ පහළ මැදපෙළ පිතිකරුවන් ලෙසිනි. එහෙත් එක්දින තරග වලදී ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවිසීමෙන් පසුව ඔව්හු ක්‍රිකට් පිටිය දෙවනත් කළහ. පසුව එය ටෙස්ට් තරග වලටත් ගෙනැවිත් සාර්ථක ගමනක් ගියහ.
තරගයකට යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රමෝපායයන්ද වෙනස් වෙමින් පවතී.

31 වැනිදා රාත්‍රී 10.30 ට පමණ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පිවිසි නායක ලසිත් මාලිංග විශේෂ අවධානයක් යොමුකළේ පින්න කෙරෙහිය. කොළඹට වඩා සීතල පල්ලෙකැළේදී රාත්‍රියේ පින්න අධිකය. එහෙත් කාසියේ වාසිය දිනාගත් මාලිංග පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ පින්න තිබියදී පන්දු යැවීමත් පන්දු රැකීමත් අසීරු බව දැන දැනමය.

“මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් වැඩි දෙනෙක් නෑ. අපිට ලකුණු 170 ක් 180 ක් එළවන්න වුණා නම් ඒක අමාරු වෙන්න තිබුණා. මොකද අනෙක් අයවත් ඇදගෙන ලොකු ඉලක්කයකට යන්න තරම් අය දැන් අපේ කණ්ඩායමේ නෑ”

“ඒත් පන්දු යවන්නන් අතරේ ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ අකිල ධනංජය වගේ අය ඉන්නවා. ඔවුන්ට අත්දැකීම් තියෙන නිසා, පින්න තිබුණා වුණත්, අපේ ශක්තිය අනුව ක්‍රීඩා කරන්න හිතාගෙන තමයි කාසියේ වාසිය දින්නාම පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත්තේ” යයිද මෙන්ඩිස් පැවසුවේය.

ඕවර 9 කදී ලකුණු 68 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ඇද වැටීමත් සමගම පිටිය මැද්දේ සිටි නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් මෙසේ කතාබහ කළහ.

“අපි ටික වෙලාවක් මේක ඇදගෙන යමු. මොකද අපි දෙන්නාගෙන් කෙනෙක් ගියොත් එහෙම එන්නේ හයියෙන් ගහන අය. ඒ අයත් හයියෙන් ගහන්න ගිහිල්ලා අවුට් උණොත් අන්තිමට ඕවර ඉතිරි වෙනවා. ඒ නිසා අපි ටිකක් ඇදගෙන ගිහිල්ලා එ අයට ඇවිදින් වැඬේ කරන්න කියමු”

මෙන්ඩිස් සහ දික්වැල්ල අතර පන්දු 42 කින් පැමිණි ලකුණු 63 සම්බන්ධතාව දිගහැරුණේ එලෙසිනි. පසුව පැමිණි දසුන් ශානක පන්දු 12 කින් ලකුණු 17 ක්ද ඉසුරු උදාන පන්දු 3 කින් ලකුණු 15 ක් ද ලබාගත්හ. ඕවර 20 කදී ලකුණු 174 ක් පුවරුවට එක්වූයේ එලෙසිනි.

නවසීලන්තයට එරෙහිව හෙට (3 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් යටතේදීය.

“අද තරගය අපි පරාජය වුණා වුණත් අපි කලින් ක්‍රීඩා කළාට වඩා හොඳ තත්ත්වයකින් ඉන්නවා. පිතිකරුවන් ලකුණු 174 ක්  ලබාගත්තා විතරක් නෙමේ පන්දු යවන්නන් එය ආරක්‍ෂා කරගන්න අවසන් ඕවරය දක්වාම සටන් කළා....”

“අපි හොඳ ආරම්භයක් ලබාගත්තා. ඒ බව ඒගොල්ලන් (නවසීලන්තය) පවා දන්නවා. ඒ නිසා දෙවැනි තරගයේදී ඔවුන්ට 100% ක් දෙන්න වෙනවා. යන්තම් හරි වැරැද්දක් වුණොත් තරගය අපේ අතට වැටෙන්න තියෙන අවස්ථාව වැඩියි. අපි අද සෙල්ලම් කරපු විදිහට ක්‍රීඩා කළොත් අපට දිනන්න පුළුවන්” යයිද කුසල් මෙන්ඩිස් පළමු තරගයෙන් පසුව පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ රැඳී සිටීමට නම් හෙට තරගය ජයගත යුතුව තිබේ.

ඡායාරූපය - ළහිරු හර්ෂණ


අදහස් (0)

පීඩනය ක්‍රීඩකයන් වෙතටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.